ලිබියානු රජය මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත මැතිවරණ නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි

ලිබියානු රජය මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත මැතිවරණ නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි

 

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා, ලිබියාවේ තානාපති කාර්යාලයේ කාර්ය භාර  නිලධාරී ඒ.එම්. මුෆ්තා මහතා 2021 සැප්තැම්බර් 01 වැනි බදාදා විදේශ අමාත්‍යාංශයේ දී හමුවී, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

ලිබියානු කාර්ය භාර  නිලධාරිවරයා, පසුගියදා විදේශ අමාත්‍ය ලෙස ලද පත්වීම පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමාට ලිබියානු විදේශ කටයුතු අතාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමීය.

ලිබියාවේ වර්තමාන තත්ත්වය සහ විශේෂයෙන් 2021 මාර්තු මාසයේ සිට බලයේ සිටින අතුරු භාරකාර රජයේ කාර්යභාරය පිළිබඳව ලිබියානු කාර්ය භාර  නිලධාරිවරයා කරුණු පැහැදිලි කළේය. 2021 දෙසැම්බර් 24 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන සූදානම පිළිබඳව කරුණු පැහැදිලි කළ ඔහු, මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් යැවීම පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. නිදහස ලැබීමට වසර 17 කට පෙර, 1931 සිට ශ්‍රී ලාංකිකයින් විශ්වීය ඡන්ද බලය භුක්ති විඳින බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිහිපත් කළේය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලිබියාව දරන ප්‍රයත්නයන්ට සහයෝගය දක්වන බවත් මෙම ඉල්ලීම පිළිබඳව සලකා බලන බවත් එතුමා පැවසීය.

රජය, වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම සහ අප්‍රිකානු කලාපයේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම තුළින් ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය කෙරෙහි අවධානය යොමු කරන බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. ලිබියාව සමඟ තේ, මැණික් හා ස්වර්ණාභරණ සහ සංචාරක කටයුතු ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට එකඟ විය.

ශ්‍රී ලංකාවේ කලාපීය හා බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව විදේශ අමාත්‍යවරයා ලිබියානු නියෝජිතයා දැනුවත් කළ අතර, ජාත්‍යන්තර මට්ටමේ සමීප සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා එකඟ විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

 

2021 සැප්තැම්බර් 02 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close