විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් - හැම්ඩි මැතිනිය හමුවෙයි

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් – හැම්ඩි මැතිනිය හමුවෙයි

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක (UNRC) හැනා සිංගර් - හැම්ඩි මැතිනිය, සැප්තැම්බර් 2 දා කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ අවශ්‍යතා පිළිබඳ සන්දර්භය තුළ, ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ රටේ කණ්ඩායම අතර පවතින සාධනීය හා අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියට ස්තූති කළේය. කොවිඩ් වසංගතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ ප්‍රයත්න සහ ඒ සම්බන්ධයෙන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව එතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ඇතුළු එක්සත් ජාතීන් විසින් සිදු කරන ලද කටයුතු මෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා ලැබෙන ආධාර එතුමා අගය කළේය. සාමය, යුක්තිය සහ ආයතන සම්බන්ධයෙන් කටයුතු කරන තිරසාර සංවර්ධන ඉලක්ක - 16 ඇතුළුව, මානව හිමිකම් පිළිබඳ දේශීය යාන්ත්‍රණයන් තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කළේය.

ඉදිරි වසර 5 සඳහා එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රමුඛතා ඇතුළත් තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව 2023-2027 යටතේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සූදානම් වීමේ ක්‍රියාවලිය පිළිබඳව නේවාසික සම්බන්ධීකාරකවරිය අමාත්‍යවරයා දැනුවත් කළාය. 2030 දී තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීම සඳහා වූ අපේක්‍ෂිත ඉලක්කයට පෙර ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුවේ අවසාන චක්‍රය මෙය වේ. සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා සෑම ප්‍රයත්නයක් සඳහාම එක්සත් ජාතීන්ගේ රටේ කණ්ඩායමේ සහයෝගය ලබා දෙන බව එතුමිය යළි අවධාරණය කළාය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 2 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close