ආර්ථික ප්‍රවර්ධනය සඳහා සහය වන ලෙස එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති එරට සිටින ශ්‍රි ලාංකිකයන්ගෙන් ඉල්ලයි

ආර්ථික ප්‍රවර්ධනය සඳහා සහය වන ලෙස එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති එරට සිටින ශ්‍රි ලාංකිකයන්ගෙන් ඉල්ලයි

ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් (OSL) එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලීමක් කළේය. ඒ මහතා මෙම ඉල්ලීම කෙළේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති බහු ආගමික චාරිත්‍රවලින් අනතුරුව, එක්සත් ජනපදය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද (2020 දෙසැම්බර් 14) දින රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, ආරක්ෂක හා සමාජ-සංස්කෘතික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද රජය හා රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වී සිටින අතර, මෙම තානාපති කාර්යාලය සියලු විදේශීය ශ්‍රී ලාංකිකයන් වෙත ළඟා වී එහි සේවය ප්‍රජාවට සෘජුවම සහ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සහ රට පුරා ව්‍යාප්ත නිර්වේතනික කොන්සල්වරුන් සමඟ සහයෝගයෙන් යුතුව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බවද එතුමා පැවසීය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සරල උත්සවයකට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය ආගම්වලින් නියෝජිතයෙකු බැගින් සහභාගී වූ අතර, ලොස් ඇන්ජලීස්, වොෂිංටන්, නිව්යෝර්ක් සහ ආර්ලිංටන් හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථාන කිහිපයක නාහිමිවරු සූම් තාක්ෂණය හරහා මෙම රැස්වීමට සහභාගී වූහ.

තානාපතිවරයා විසින් ආගමික නායකයින් ද සමඟ සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, රැස්වීමේ වැඩ කටයුතු ආරම්භ විය.

මෙහි දී, මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ නායක සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය කටුගස්තොට උපරතන ස්වාමීන් වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කළ අතර, තානාපතිවරයාට සහ කාර්යය මණ්ඩලයට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා දුන්හ. ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ අතිගරු ආචාර්ය අග්ග මහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ රැස්වීම අමතමින්, වොෂිංටන් වෙත මීට පෙර පත් කරන ලද අවස්ථාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාව වෙත එළඹෙමින් කළ සේවය සිහිපත් කළ අතර, වසර ගණනාවක් තිස්සේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති ආර්යසිංහ මහතා විසින් ඉටු කරන ලද වැදගත් රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය අගය කළහ.

ස්වාමි රගුපති කුරුක්කල්තුමා හින්දු ආගමික වතාවත් සිදුකළ අතර තානාපතිවරයාට හින්දු ශ්ලෝක ගායනා කොට ආශීර්වාද කළේය. ශ්‍රී ලංකාවේ එකමුතුකම හා වාර්ගික සමගියෙහි අභිවෘද්ධිය උදෙසා තානාපති ආර්යසිංහ මැතිතුමා සිදුකළ ආදර්ශමත් සේවාවන් ද කුරුක්කල්තුමා සඳහන් කළහ.

පොටෝමැක්හි බැප්ටිස්ට් පල්ලියේ පූජ්‍ය දිලන්ත ආරච්චිලගේ පියතුමා ක්‍රිස්තියානි යාච්ඥා සිදුකළ අතර, තානාපතිවරයාට සහ කාර්යය මණ්ඩලයට සිය ආශිර්වාදය ලබා දුන්හ. ප්‍රජා සම්බන්ධ සිදුවීම් හා ක්‍රියාකාරකම් සඳහා තරුණයින්ගේ හැකියාවන් උපයෝගී කර ගැනීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව පියතුමා අවධාරණය කළේය.

ඉස්ලාම් ඇදහිල්ල නියෝජනය කරමින්, සෙයිද් රිස්වාන් මවුලානා මහතා අල් කුරානයෙන් ශුද්ධ පද කියවා තානාපතිවරයාට සහ කාර්යය මණ්ඩලයට ආශිර්වාද කළේය. එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය අතර, විවිධත්වයේ එකමුතුව පුනර්ජීවනය කිරීම සඳහා බොහෝ දුරක් යා හැකි බව පැවසූ මවුලානා මහතා, වොෂිංටන් හි ශ්‍රී ලංකාවේ වැදගත් ආගමික හා සංස්කෘතික උත්සව සැමරීමේ වැදගත්කම සිය ප්‍රකාශයේ දී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂිංටන් ඩීසී

2020 දෙසැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close