එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය අගය කරන බව ඇමති දිනේෂ් කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය අගය කරන බව ඇමති දිනේෂ් කියයි

තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය හා තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආයතනවලින් ලැබෙන අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳ 65 වැනි සංවත්සරය සැමරීම සඳහා (14) ඊයේ විදේශ අමාත්‍යාංශයේදී පැවති චාම් උත්සවයකදීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීන් සමඟ විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, එක්සත් ජාතීන්ගේ නේවාසික සමිබන්ධිකාරක හැනා සිංගර් මහත්මිය හා විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුලු පිරිසක් සහභාගී වුහ. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමේ 65 වැනි සංවත්සරය පිළිබඳ සන්ධිස්ථානය සමරන අද දින ඔබ ඇමතීම සතුටට කරුණකි. එක්සත් ජාතීන් සමඟ පවතින දිගුකාලීන හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට අභිමානයකි.

නිදහසින් පසු ගත වූ කාලය තුළ දී යටත් විජිත බලවතුන් සමඟ ඇති බැඳීම් හා වගකීම්වලින් ක්‍රමයෙන් නිරවුල් වූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තමාටම ආවේණික වූ ස්ථානයක් නිර්මාණය කළේය. නොබැඳි ප්‍රතිපත්තිය මත පදනම්ව, ශ්‍රී ලංකාව නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අතර, ගෝලීය දකුණේ අවශ්‍යතා නියෝජනය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බහුපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙමින්, 77 කණ්ඩායමේ සාමාජිකයෙකු බවට ද පත්විය.

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් හා මේ වසරේ පැවති මහ මැතිවරණයෙන් එතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාවගෙන් විශිෂ්ට ජනවරමක් ලබා ගත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය, ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, රාජ්‍යයන්ගේ භෞමික අඛණ්ඩතාව සහ ඔවුන්ගේ දේශීය කටයුතුවලට ඇඟිලි ගැසීම් නොකිරීම යන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුකූලව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ පවතින විශිෂ්ට සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාම සඳහා දැඩි උනන්දුවක් දක්වයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති සාරධර්ම මත පදනම්ව, පසුගිය වසර 65 තුළ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පද්ධතියට විවිධ ආකාරවලින් දායක වී තිබේ. ලංකාව 1960 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයෙකු බවට පත් වූ අතර, පසුව 1976 දී මහා සභාවේ සභාපති ලෙස ද කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික තානාපතිවරුන් සහ විවිධ එක්සත් ජාතීන්ගේ සංසදවල සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයින් විසින් ලබා දුන් සුවිශේෂී දායකත්වය මෙම අවස්ථාවේ දී මට සිහිපත් වේ. ගුණපාල මලලසේකර මැතිතුමා, ෂර්ලි අමරසිංහ මැතිතුමා, නෙවිල් කනකරත්න මැතිතුමා, ජයන්ත ධනපාල මැතිතුමා සහ ගාමිණී කොරෙයා මැතිතුමා වැනි අපගේ ස්ථිර නියෝජිතවරුන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් වන විට, ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණේ රටවල පැවති අපේක්ෂාවන් බොහොමයක් තවදුරටත් වලංගුව පවතී.

කොවිඩ්-19 වසංගතය පිළිබඳව කටයුතු කිරීම සඳහා බහුපාර්ශ්වීය ක්‍රියාකාරිත්වය පෝෂණය කිරීම සහ ගෝලීය සහයෝගිතාවය බලමුලු ගැන්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉටුකළ කාර්යභාරයට ශ්‍රී ලංකාව ප්‍රශංසා කරයි. මෙම ගෝලීය අභියෝගයට එරෙහිව සටන් කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයන්හි දී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද දේශගුණික හදිසි අවස්ථාව ශ්‍රී ලංකාව අනුමත කරන අතර, ඒ වෙනුවෙන් ඇපකැපවී සිටීන බවද අමාත්‍යවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හරනා සිංගර් මහත්මිය අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ව්‍යාප්තිය හා නිරායුධකරණය කිරීමේ ක්‍රියාවලීන් සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් දායකත්වය සිහිපත් කළ අතර, එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන හරහා ශ්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන බහුවිධ සහයෝගීතාව ගැන සඳහන් කළාය. නේවාසික සම්බන්ධීකාරකවරිය කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, මානව වර්ගයාගේ සාමූහික සදාචාරාත්මක බලවේගයේ වඩාත්ම කල් පවත්නා සංග්‍රහකරණයක් බව ඔප්පු වී ඇති අතර, එමඟින් සෑම සාමාජික රටකටම ගෞරවය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 දෙසැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close