මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාර‍යේදී ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ඉදිරි පෙළ රාජ්‍ය ප්‍රකාශය 2020 පෙබරවාරි 26 වැනි දින

මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාර‍යේදී ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ඉදිරි පෙළ රාජ්‍ය ප්‍රකාශය 2020 පෙබරවාරි 26 වැනි දින

ගරු සභාපතිතුමියනි,

මහ කොමසාරිස්තුමියනි,

නෝනාවරුනි, මහත්වරුනි

මෙම කවුන්සිලය ද දන්නා පරිදි 2019 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික ජනතාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අතිමහත් බහුතරයක් සිය ජනවරම ලබා දුන්නේ “ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක, සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් උදාකර ගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ චතුර්විධ ප්‍රතිපත්තිය” ක්‍රියාත්මක කිරීම උදෙසාය. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා අපගේ ජනතාවට පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩප්‍රස්ථාව පරදුවට නොතබා, ජාතික ආරක්ෂාව සුරැකෙන ස්ථිරසාර පදනමක් මත, තිරසාර සංවර්ධනයකින් අප රට සමෘද්ධිමත් කිරීම මෙහි අරමුණයි.

ඔබ සැම නව මාවතකට යොමු විය යුතු බව….

මීට දශකයකට පමණ පෙර 2009 මැයි 18 වැනි දින ශ්‍රී ලංකාව එතෙක් මුහුණ පෑ දශක තුනක් පුරා ඇදී ආ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළේ, ජනතාව එතෙක් අත්විඳි කටුක දුක සහ යුද්ධය නිමා කරමිනි. එම කුරිරු යුද්ධයේ නිමාවෙන් සනිටුහන් වූයේ, සමස්ත ශ්‍රී ලංකාවාසී, සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනවර්ගවල ජනයාගේ මූලික මානව අයිතියක් වූ “ජීවත් වීමේ අයිතිය” සුරැකීම, ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙන යෑමයි. එබැවින්,

2009 මැයි මස සිට මේ දක්වා ගෙවුණු කාල පරාසය තුළදී බෙදුම්වාදී ත්‍රස්තවාදයේ නාමයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය තුළ කවර හෝ ස්ථානයක එකදු උණ්ඩයක්වත් හඬ දුන්නේ නැති වග

මා ආඩම්බරයෙන් මෙහිදී ඔබ සැම වෙත පැවසීමට කැමතියි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ යුද ගැටුම් නිමාවත් සමඟ එක රැයකින් තිරසාර සාමයක් උදාවෙතැයි යන මායාවක ශ්‍රී ලංකාව කවදාවත් පැටලී සිටියේ නැත. මෙම කවුන්සිලය කටයුතු කරන අනෙකුත් බොහොමයක් රටවල පවතින යුද ගැටුම්වලදී මතුවන, ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියකට ඉඳුරාම වෙනස් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ පැවතියත් ශ්‍රී ලංකා‍වේ පවත්නා ව්‍යුහයන් පිළිබඳ යම් සමාලෝචනයක් මෙන්ම බලගැන්වීම් ලැබිය යුතුය යන කරුණ කෙරෙහි අපි අවබෝධයෙන් සිටිමු.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් වශයෙන්,ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ එවක ආණ්ඩුව විසින් ඒ යුගයේදී මෙරට පැවති යථාර්ථය මනාව සැළකිල්ලට ගනිමින් “සමනය සහ සාමය ගොඩනැගීමේ” අභිලාශයේ තිරසාර ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ආරම්භ කෙරිණි. අප රටට වඩා සම්පත්වලින් ආඪ්‍ය වූ රටවලටත් මෙවැනි ගැටළුකාරී අවස්ථාවකදී ඊට සාර්ථක විසඳුම් ලබා දීමට දශක ගණනාවක් කල් ගිය සන්දර්භයක් තුළ එම ක්‍රියාවලිය, සැවොම ඒකරාශී ලෙස සළකා ඉදිරිපත් වූ වර්ධනීය වැඩපිලිවෙලක් ලෙස අවධානයට ලක් විය.

ගරු සභාපතිතුමියනි,

2014 වසරේ දෙසැම්බර් මස වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය නිමාව දකින විට එම ආණ්ඩුවේ සිටි සාමාජිකයෙකු වශයෙන් පහත සඳහන් ක්‍ෂේත්‍රයන් හි සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටින බව මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ඒවා නම්;

* බිම්බෝම්බ ඉවත් කිරීම

* නැවත පදිංචි කරවීම

* ආරක්ෂක හමුදා විසින් යොදාගත් භූමිය නැවත ප්‍රදේශයේ ජනතාවට ලබා දීම

* කලින් යුද්ධය පැවති ප්‍රදේශයන් හි හමුදා කඳවුරු අඩු කිරීම

* ලමා සොල්දාදුවන් ද ඇතුළුව එල්.ටී.ටී.ඊ හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීම.

* යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීම.

* කලින් යුද්ධය පැවති ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ප්‍රතිස්ථාපනය කිරීම.

* වගවීම, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් යනාදී ක්ෂේත්‍රයන්ට අදාළ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා දේශීය ක්‍රමවේද ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකා ජනතාවගේ හිතසුව පිණිස මෙවැනි සැමදෙනාම ඒකරාශී කරගන්නාසුළු, දේශීයව සැකසුණු පියවර කීපයක්ම රැගෙන තිබියදී, ඒ බව නොතකමින්, 2012, 2013 සහ 2014 යන වසරවලදී අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ එක් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතයන් ඉදිරිපත් කරන ලද්දේ; ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉතා ප්‍රවේශම්කාරී අන්දමින් තුලනය කරගත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් තුළින්, ත්‍රස්තවාදය පරදවා දමා, රටේ ස්ථාවරත්වයත්, මානවවාදී සහනාධාරත්, තිරසාර සාමයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා ඉටු කළ මහඟු කර්තව්‍ය අගය කිරීමට අපොහොසත් වන මානසිකත්වයකිනි.

ගරු  සභාපතිතුමියනි,

අප රට තුළින්ම බිහිව මල් ඵල දරමින් පැවති ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පසුගිය රජය විසින් 2015 වසරේ ජනවාරි මසදී අත්හැර දමන ලදී. මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය තුළ පෙර නොවූ විරූ පරිදි සහ ශ්‍රී ලංකාවට විශේෂිත වූ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරයට පටහැනිව යමින් එවකට සිටි රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වූ 30/1 යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන ලදී.

30/1 යෝජනාවට පදනම වූවා පමණක් නොව මෑතකදී ත්‍රස්තවාදය පරාජයට පත්කළ එකම ජාතික ආරක්ෂක සේනාව වූ වික්‍රමාන්විත ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව අසාධාරණ ලෙස අපකීර්තියට පත් කිරීමට යොදාගත් දැඩි සේ දෝෂ සහිත වූ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව ( OISL ) පසුගිය රජය විසින් “ අගයමින් සිහිතබාගැනීම“ සිදු කරන ලදී. එය සිදුවූයේ ඊට ප්‍රතිවිරුද්ධව විරුද්ධ පාර්ශ්වයට ඕනෑතරම් සාක්ෂි තිබිය දීය. එනම්

– උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සහ පරණගම කොමිෂන් වාර්තාව.

– නේස්බි සාමිවරයා විසින් එක්සත් රාජ්‍ය යේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු.

අනෙකුත් කාරණා අතර අභියෝගයට ලක්වූ කාරණය වූයේ සාමාන්‍ය ජනතාවට සිදුවූ හානි පිළිබඳ වූ අතිශයෝක්තියෙන් දක්වන ලද සංඛ්‍යාලේඛන වේ.

– ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වැනි ආයතන ඇතුළුව එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර නියෝජිතායතන වලින් ලැබුණ වාර්තා.

– හෙළිදරවු වූ රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩ හුවමාරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ඉටු කළ නොහැකි බැඳීම් අපේක්ෂා කරන අතර එමගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයේ පදනම උල්ලංඝනය කිරීමත් සිදු වේ. ශ්‍රී ලංකාව තම සම අනුග්‍රහය දැක්වීම පිළිබඳ නැවත සළකා බැලීමට හේතුවූ තවත් සාධකයක් ලෙස මෙය දැක්විය හැකිය.

ඒ අනුව 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් පසුගිය රජය රාජ්‍ය පාලනයේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කර තිබේ.

• කෙටුම්පත ඉදිරිපත් කිරීමටත් පෙරම එය යෝජනාවට සහාය ප්‍රකාශයට පත් කරන ලදී.

• ජාත්‍යන්තර ආයතනයකින් අප වෙත පවරන ලද කාර්යයන් ඉටු කිරීම සඳහා පැවතිය යුතු අවශ්‍යතාවක් වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර නැත.

• එම ක්‍රියාවලිය පිළිබඳ ව හෝ ප්‍රතිඳාවන් පිළිබඳ සහ එවන් සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් ලැබෙන අයහපත් ඵල විපාක පිළිබඳව පාර්ලිමේන්තුව කිසිදු ආකාරයකින් දැනුවත් කර නොතිබුණි.

• ඉතාම වැදගත් කාරණය වන්නේ එම යෝජනාව තුළින් රටේ ඉහළ ම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීම නිසාත් එයට ආවේණික නීතිවිරෝධී බව නිසාත් ක්‍රියාත්මක කළ නොහැකි යෝජනා අඩංගු වීමයි.

• වෘත්තිමය රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන්, මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව විසින් පළ කරන ලද සැකයන් එමගින් නිෂ්ප්‍රභ කර ඇත.

• එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඒ අවස්ථාවේ එම කාරණය පිළිබඳ තමන්ගේ අදහස් නොවිමසූ බව සඳහන් කිරීම.

• අද වන තුරු එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ගෞරවය කෙරෙහි කළු පැල්ලමක් ලෙස පැවතීම.

රටවල් කිහිපයක් සතුටු කිරීමේ අරමුණින් පමණක් මෙම කටයුතු සිදු කළ නොහැකි බවට තිබෙන සාක්ෂි සහ දැඩි විරෝධය තිබියදී මෙම පරීක්ෂාව සිදු කිරීමට බැඳියාවක් ඇතිකරමින් දෙන ලද පොරොන්දු ප්‍රායෝගික නොවන බවත් ව්‍යවස්ථා විරෝධී මෙන්ම ඉටු කළ නොහැකි බවත් පැහැදිළිය.

කීර්තිනාමය සම්බන්ධයෙන් සිදු වන හානිය සලකා බැලීමේදී, එමගින් අන්තර්ජාතික පද්ධතිය තුළ ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය සහ අන්තර්ජාතික ප්‍රජාව තුළ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ විශ්වාසනීයත්වය හීනවී ගියේය. මෙම වගකීම් විරහිත ක්‍රියාව දීර්ඝ කාලයක් මුළුල්ලේ පෝෂණය කරන ලද කලාපීය සම්බන්ධතාවලට සහ නොබැඳි ව්‍යාපාරයෙහි මෙන්ම දකුණු ආසියානු සාමුහිකත්වයට ද හානි කළේය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සෑම පාර්ශ්වයකටම කිසිදු ප්‍රතිලාභයක් නොමැති තත්ත්වයකට පහත දැමීමට හේතු වූ සම්මුති තුළින් එය අපේක්ෂා කළ හිතාමතා සිදු කළ ධ්‍රැවීකරණය මගින් මගේ රට ගෝලීය දේශපාලනය නැමති චෙස් පුවරුවෙහි ඉත්තෙකු බවට පත් කළේය.

වඩාත් බරපතල ලෙස සලකා බලන විට, 30/1 යෝජනාව අනුව රටෙහි සිදුකිරීමට නියම කර තිබූ වෙනස්කම් 2019 අප්‍රේල් මාසයේදී පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමින්, විදේශිකයින්ගේ ද ඇතුළුව ජීවිත ගණනාවක් බිලිගනිමින්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජයට අභියෝග එල්ල කරමින්, පාස්කු ඉරිදා දින එල්ල කරන ලද ප්‍රහාර සිදු වීමට හේතුවූ අඩුපාඩුවලට හේතු පාදක වන්නට ඇතැයි සැලකෙන ජාතික බුද්ධි මෙහෙයුම් සහ ඒ සම්බන්ධ ආරක්ෂක වැඩපිළිවෙල දුර්වල කිරීම ද ඇතුළුව ජාතික අභිලාෂයන්ට සහ ජාතික ආරක්ෂාවට හානිදායක විය.

2015 ඔක්තෝබර් මාසයේ ඉදිරිපත්වූ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දුන් පෙර පැවති රජය 2019 මාර්තු මාසයේදී මගේ පූර්වගාමියා විසින් මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දෙන අවස්ථාව වන විට වසර 4 ක් පුරා පැවති සැබෑ බාධක පිළිගනිමින් මෙම කවුන්සිලයේදී ඉදිරිපත් කරන ලද ප්‍රකාශය තුළින් එකී යෝජනාවෙහි අන්තර්ගතවූ නියමයන් බිඳ දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. එම ප්‍රකාශය මගින් යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ පරාමිතීන්ට යෝග්‍යතාවය ලබා දීමට අපේක්ෂා කරන ලදී. එමගින් පහත සඳහන් දෑ සැකයට ලක්ී කරන ලදී:

• 30/1 යෝජනාව මගින් ගැටුමෙහි ස්වභාවය සහ ඇස්තමේන්තු කරන ලද මරණ සංඛ්‍යාව විදහා පෙන්වීම;

• ආරක්ෂක හමුදාවන් දෝෂාරෝපණීය යැයි පැවසෙන චෝදනාකිරීම් පිළිබඳ අසුභවාදී ප්‍රතිචාර;

• ඉල්ලා සිටින ලද ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය ලුහුඩු කිරීම;

• යෝජිත අධිකරණ යාන්ත්‍රණය පිරිදි විදේශීය විනිසුරුවරුන් සහ අභිචෝදකයින් සම්බන්ධවීම, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවහිර කරනු ලබන බව ප්‍රකශ කර සිටීම;

• මෙය පිළිගැනීම එසේ තිබියදීත්, පෙර පැවති රජය 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට පූර්ණ ලෙස සහාය වූ එහි සමඅනුග්‍රාහකත්වය ලබා දීම අඛණ්ඩව සිදු කළේය.

අතිමහත් බහුතරයක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකික ජනතාව රට පෙරට ගෙනයාම සඳහා වෙනස් මගක් ගත යුතු බවට ඔවුන් සතු බලාපොරොත්තුව පිළිබඳ ඉගිකර තිබේ. ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් දින උත්සවය අමතින් ජනාධිපති රාජපක්ෂා මහතා සඳහන් කළ ආකාරයට, “සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන් විසින් තෝරාපත් කර ගන්නා ලද නියෝජිතයා හරහා දේශපාලන සහ රාජ්‍ය පාලන ක්‍රියාවලීන්ට සහභාගී වීම සඳහා ඇති අයිතිය අපි සැමවිටම ආරක්ෂා කරන්නෙමු.”

ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන්ට අනුව, නොබැඳි සහ අපක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරම, සෑම ගැටළුවක්ම අලු‍තින් විමසා බැලීමටත්, ‘ආරක්ෂාව සහ සංවර්ධනය හරහා සෞභාග්‍යය’ යන රජයෙහි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමටත්, සියලු ශ්‍රී ලාංකිකයින්ගේ උපරිම යහපත උදෙසා වර්තමාන අභියෝග ජයගැනීම පිණිස දේශීය වශයෙන් සකස් කරන ලද විසඳුම් සොයා ගැනීමටත් අපගේ රජය කැපවී සිටියි.

මෙම සංදර්භය තුළ, පූර්වයෙන් ඉදිරිපත් කර ඇති 2015 ඔක්තෝබර් මස ඉදිරිපත් කළ 30/1 යෝජනාව සහ 2017 මාර්තු මස ඉදිරිපත් කළ 34/1 යෝජනාවත් අන්තර්ගත කරගත් මෙන්ම ඒ මත ගොඩනැගුණු ‘ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳව වන 40/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය මම මේ අවස්ථාවේ දැනුම් දීමට කැමැත්තෙමි.

ගරු සභාපතිතුමියනි,

මෙකී යෝජනා සම්මතය සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද, තිරසාර සාමයක් හා සංහිඳියාවක් දිනාගැනීම සඳහා වගවීම සහ මානව සම්පත් සම්බන්ධයෙන්

ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් ඉලක්ක කරන ලද අරමුණු සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටියි. මෙකී අරමුණු ඉටුකර ගැනීම සඳහා;

පළමුකොටම, රජයේ ප්‍රතිපත්ති කාර්ය රාමුව හා අනුකූලව දැනට පවතින යාන්ත්‍රණයන් යෝග්‍ය ලෙස අනුවර්තනය කිරීම ඇතුළුව දේශීය වශයෙන් සැලසුම්කර ක්‍රියාත්මක කරනු ලබන පරිපූර්ණ සංහිදියා හා වගවීම් ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය දිනාගැනීම සඳහා තමන් සතු කැපවීම ‍ ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර සිටී .සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කරන ලද ශ්‍රී ලංකාවෙහි පසුගිය විමර්ශන කොමිෂන් සභාවල වාර්තා සමාලෝචනය කිරීම, ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක වීමේ තත්ත්වය පිළිබඳ ඇගැයීමක් සිදු කිරීම සහ නව රජයෙහි ප්‍රතිපත්ති හා අනුකූලව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමද මීට ඇතුළත් වනු ඇත.

දෙවනුව , 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාව විසින් ලබාදෙන ලද ප්‍රතිඥාවන් හා අනුකූලවන ආකාරයකින් අනිකුත් සුවිශේෂී ගැටලු සඳහා විසඳුම් ලබා දීම සහ අවශ්‍ය අවස්ථාවලදී ආයතනික ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදීම සඳහා ද රජය විසින් කටයුතු කරනු ඇත. නීතිය ප්‍රකාරව පුද්ගලික සහ සාමූහික අයිතිවාසිකම් හා ආරක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම ,යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීම සහ සමාජයෙහි අවදානමට ලක් වූ කොටස් වල ගැටළු විසඳිම මගින් ජනතාව වෙත ලබා දී ඇති ප්‍රතිඥා තුළ ගැබ්වී ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරමු . ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරකවරයා අතර සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති අතර තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකා රජයට උදව් කිරීම සඳහා අදාළ එක්සත් ජාතීන්ගේ ආයතන සම්බන්ධකර ගැනීමට එහිදී එකඟතාවයකට එළැඹ ඇත.

තුන්වනුව , දේශීය ප්‍රමුඛතාවයන් ප්‍රතිපත්තීන් හා අනුකූලව ,ශක්‍යතා වර්ධනය සහ තාක්ෂණික සහාය සම්බන්ධයෙන් විධිමත් මානව හිමිකම් අභිනියෝග සහ යාන්ත්‍රණයන් ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සහ එහි ආයතන වල සහාය අවශ්‍ය පරිදි ඉල්ලා සිටීම සහ ඒ සඳහා අඛණ්ඩව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියා කරනු ඇත.

අවසාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජිකයන් හා එක්ව මෙම යෝජනා සම්මතය අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ අපේක්ෂා කරනු ඇත .

ගරු සභාපතිතුමියනි,

විවිධ ජන වර්ග, විවිධ ආගම් සහ විවිධ සංස්කෘතීන්ට අයත් ශ්‍රී ලාංකා ජනතාවගේ සුභ සිද්ධිය ඔවුන්ගේ හදවතට සමීපව ලබාදීමේ උවමනාව ශ්‍රී ලංකා රජයට තරම් වෙනත් කිසිවකුට නොමැත. අපගේ ජනතාව සඳහා තිරසාර සාමය හා සමෘද්ධිය පිරි යුගයක් සහ පූර්ණ සංහිදියාවක් ගොඩනැඟීම සඳහා කටයුතු කිරීමට අදිටන් කර ගැනීම සඳහා සහ අපගේ ප්‍රතිඥාවන් සඳහා මග පෙන්වීම සපයනුයේ මෙම චේතනාවයි. ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රමුඛතාවයන් සහ ප්‍රතිපත්ති කාර්ය රාමුව තුළ සිදුකරනු ලබන ඉහත සඳහන් කාර්යයන් යථාර්ථවත් වනවා පමණක් නොව ඒවා ඉටුකළ හැකි වන බව ද අපගේ දැඩි විශ්වාසයයි.

මෙම ව්‍යායාමයේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස මෙම උත්තරීතර සභාව තුළ සහ ඉන් පිටත කටයුතුකරන සියළුම පාර්ශවකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

බුදුන් වහන්සේ විසින් දේශනා කළ වදන් පෙළක් උපුටා දක්වමින් මාගේ කතාව අවසන් කිරීමට කැමැත්තෙමි.

“සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා”

සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!

සියලුම සත්වයෝ දුකින් මිදෙත්වා!

සියලුම සත්වයෝ සුවපත් හා සතුටු සිත් ඇත්තෝ වෙත්වා!

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close