7 වැනි අංගය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය අතරතුරදී පැවති,  පලස්තීනයේ හා අත්පත් කරගෙන සිටින වෙනත් අරාබි දේශයන්හි මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ පොදු විවාදය

7 වැනි අංගය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය අතරතුරදී පැවති,  පලස්තීනයේ හා අත්පත් කරගෙන සිටින වෙනත් අරාබි දේශයන්හි මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ පොදු විවාදය

මානව හිමිකම් කවුන්සිලයේ  45 වැනි සැසිවාරය

2020 සැප්තැම්බර් 30

ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

සභාපතිතුමියනි,

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ එකඟතාවය පළවෙයි.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ දැරූ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලිය. පලස්තීනයේ ජනතාවට, රාජ්‍යත්වයට සහ ඔවුන්ගේ දේශයේ ඇති ස්වාභාවික සම්පත්වලට ඇති නීත්‍යානුකූල හා අහිමි කළ නොහැකි අයිතිය අපි හඳුනා ගනිමු. ඕනෑම ආකාරයක ඈඳා ගැනීමක්, එහි ප්‍රමාණය නොසලකා, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර, එය මෙම ගැටලුවට සාමකාමී විසඳුමක් සඳහා වන අපේක්ෂාවන් අනතුරේ හෙලයි. එය මැද පෙරදිග කලාපයේ සාමය හා ආරක්ෂාව අස්ථාවර කිරීමටද හේතු වේ.

පලස්තීන දේශය බලෙන් අල්ලාගෙන සිටීමෙන් පලස්තීන ජනතාවගේ මානව හිමිකම් අඛණ්ඩව උල්ලංඝනය වන බව මහලේකම්වරයාගේ ඇතුළු එක්සත් ජාතීන්ගේ මෑත කාලීන වාර්තා මගින් පෙන්වා දී තිබේ. එබැවින් පලස්තීනය ඈඳා ගැනීමේ ඊශ්‍රායල සැලසුම් මෙන්ම ඒ හා සමාන වෙනත් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හරින ලෙසත්, මූලික නිදහස සහ ආරක්ෂාව සඳහා පලස්තීන ජනතාව සතු අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් අපි ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිමු.  එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනාවලි හා ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ද්විත්ව රාජ්‍ය විසඳුමට අනුකූලව ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඵලදායී හා අර්ථවත් සාකච්ඡාවල නැවත නියැලීමට මෑත කාලීන එකඟතාව මඟින් අවස්ථාවක් ලැබෙනු ඇතැයි යන මහලේකම්වරයාගේ අපේක්ෂාව අපතුළ දෝංකාර දෙයි.

බලෙන් අල්ලාගෙන සිටින පලස්තීන දේශයේ (OPT) හා ඊශ්‍රායලයේ කොවිඩ්-19 හි ප්‍රතිඵලයක් ලෙස නරක අතට හැරෙමින් පවතින මානුෂීය අර්බුදය අපි සැලකිල්ලට ගනිමු. වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිමු. පලස්තීන  දේශය බලෙන් අල්ලාගෙන සිටීම හේතුවෙන් පැන නැගුණ නව මානුෂීය අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන හා කාර්ය කටයුතු නියෝජිතායතනය (UNRWA) පිළිබඳව සතුටපළ කරන අතර එහි ක්‍රියාකාරකම් සඳහා ලබාදෙන සහයෝගය ශක්තිමත් කිරීමට ඒකරාශී වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන්  ඉල්ලා සිටිමු.

පලස්තීනය සහ ඊශ්‍රායලය යන දෙරටේම ජනතාවගේ නීත්‍යානුකූල හා සංවේදී ආරක්ෂක ගැටලු හඳුනා ගන්නා අතරම, අර්බුදය තවදුරටත් වැඩි කිරීම සඳහා කලාපය තුළ අඛණ්ඩව පවතින අවිනිශ්චිතතාවය පමණක් දායක වන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන අතර උපරිම සංයමයකින් යුතුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම දිරිගන්වමු.

 1967 දේශසීමා පදනම මත එකිනෙකා සමඟ එකමුතුව, දෙපැත්තෙහි ජීවත්වන රාජ්‍යයන් දෙක ජාත්‍යන්තරව එකඟ වූ පරාමිතීන්ට අනුකූලව එළඹෙන සාකච්ඡාමය විසඳුමකට පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී කටයුතු කරයි.

ස්තූතියි.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close