විදේශ සබඳතා අමාත්‍යතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමිය හමුවෙයි

විදේශ සබඳතා අමාත්‍යතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායක, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දින (පෙබරවාරි 28) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය හමුවිය.

40/1 යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සහ ඒ සඳහා හේතු වූ පදනම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැවත අවධාරණය කළේය. මෙයට වසරකට පෙර ඔහුගේ පූර්වගාමියා වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා විසින්ද යෝජනා සම්මුතියේ සපුරාලිය නොහැකි කරුණු ගණනාවක් පෙන්වා දී ඇති බව ඔහු සිහිපත් කළේය. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, දේශීය විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම තුළින්, තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම්වල මුල් බැසගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිත ආයතනවල සහාය ඇතිව අඛණ්ඩව කටයුතු කිරීමෙන්, තිරසර සාමය සහ සංහිඳියාව උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ ඇති ඇප කැපවීම ඔහු අවධාරණය කළේය. අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය වැනි පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපනය කරනු ලැබූ දැනට පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයන්, රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව සුදුසු අනුවර්තනයන් සමඟින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එහිදී සඳහන් කරනු ලැබීය.

මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ මට්ටමේ රැස්වීමට සහභාගී වීම පිළිබඳව මහ කොමසාරිස් බැචලෙට් මහත්මිය අමාත්‍ය ගුණවර්ධන මහතාට සිය ස්තූතිය පුද කළාය. ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මුතියෙහි සම අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සම්බන්ධයෙන් සිය කණගාටුව පල කළ මහ කොමසාරිස්වරිය, මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවට මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දුන් සහතිකය සහ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය සම්බන්ධ නිරීක්ෂණ සිය ඇගයීමට ලක් කළාය.

යෝජනා සම්මුතිය අවසන් කිරීමේ අවශ්‍යතාවය, ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීම, පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි අඩුපාඩු සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි (PTA) විධිවිධානවලට අවශ්‍ය සංශෝධන යෝජනා කිරීමේ අදහසින් එම පනතෙහි සමාලෝචනයක් සිදු කිරීමට රජයේ ඇති අපේක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සිය ඉදිරි දැක්ම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළහ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා වෛරී කතා පැතිරීම සහ සමාජ මාධ්‍ය, තාක්‍ෂණය හා මානව හිමිකම් සහ පරිසරය හා මානව හිමිකම් අනිසි ලෙස භාවිතා කිරීම අතර පවතින සම්බන්ධකය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳවද මහ කොමසාරිස්වරිය, අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කරනු ලැබීය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොලඹගේ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, අමාත්‍ය ගුණවර්ධන මහතා සමඟ රැස්වීමට සහභාගි වූහ. විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ආර්. කේ. ලෙනගල මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ කනිෂ්ක බාලපටබැඳි මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රිගේඩියර් ඊ. එස්. ජයසිංහ මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සුභාෂ් ශ්‍රී විජේතුංග මහතාද මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් විය.

ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය

ජිනීවා

2020 පෙබරවාරි 28 වන දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close