මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසි වාරය න්‍යාය පත්‍රය 2: කොවිඩ්-19 ගෝලීය වසංගතයේ මානව හිමිකම් බලපෑම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරියගේ වාචික යාවත්කාලීන කිරීම පිළිබඳ ඉහළ පෙළ අන්තර්ක්‍රියාකාරී සංවාදය

මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසි වාරය න්‍යාය පත්‍රය 2: කොවිඩ්-19 ගෝලීය වසංගතයේ මානව හිමිකම් බලපෑම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරියගේ වාචික යාවත්කාලීන කිරීම පිළිබඳ ඉහළ පෙළ අන්තර්ක්‍රියාකාරී සංවාදය

සභාපතිතුමියනි,

මෙම කවුන්සිලය දන්නා පරිදි, පසුගිය නොවැම්බර් මස දී, “ඵලදායී පුරවැසියෙක්, තෘප්තිමත් පවුලක්, විනයගරුක හා සාධාරණ සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක්” යන සිව් වැදෑරුම් ප්‍රතිඵල අත්කර ගැනීම අරමුණු කරගත් ප්‍රතිපත්ති රාමුවක් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රබල වරමක් ලබා දුන්හ.

පසුගිය අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේ දී ජනතාව විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවති මැතිවරණයක දී පෙර නොවූ විරූ ලෙස 59.09% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙමින් මෙම ඓතිහාසික වරම අලුත් කරන ලදී. මෙය කිසිදු බලවේගයකට යටත් නොවී, ජනතාව සහ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන අතරම, සමෘද්ධිය කරා ගෙන යන රටේ ඉදිරි මාවතක් සඳහා ශ්‍රී ලංකා ජනතාව දක්වන සහයෝගය පිළිබඳ පැහැදිලි පණිවුඩයක් ලබා දෙයි.

සභාපතිතුමියනි,

කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ලෝකයේ ඉහළ සංවර්ධිත රටවල් පවා සැලකිය යුතු අභියෝගයකට මුහුණ දී තිබූ අවස්ථාවක දී, ශක්තිමත් දේශීය සෞඛ්‍ය පද්ධතියක සහාය ද ඇතිව ජාතික මට්ටමින් වැළැක්වීමේ පියවර හොඳින් සම්බන්ධීකරණය කළ යාන්ත්‍රණයක පිහිටෙන් එහි ව්‍යාප්තිය මැඩපවත්වා ගැනීම තුළින් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මෙය කොවිඩ්-19 වසංගත හේතුවෙන් පැමිණ ඇති අභියෝග අවම කිරීම සඳහා රජය ගෙන ඇති සියල්ල ඇතුළත්, වෙනස් කොට සැලකීමකින් තොර හා පරිපූර්ණ වූ ක්‍රියාමාර්ග මාලාවක ප්‍රතිඵලයක් වන අතර, එමඟින් තම ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සුරැකීම සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත. අඩු ආදායම්ලාභී පවුල්, විශ්‍රාමිකයන් හා ආබාධිත පුද්ගලයන්, එදිනෙදා ආදායම් උපයන්නන් සහ ගොවීන් සඳහා මූල්‍යමය වශයෙන් සහයෝගය දැක්වීම, ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම මනා සම්බන්ධීකරණයෙන් යුතුව කළමනාකරණය කිරීම, පවත්නා කර්මාන්තවලට සහාය වෙමින් නව ආර්ථික ප්‍රවණතා ඇති කිරීම සඳහා ව්‍යාපාර මාර්ග ගවේෂණය කිරීම මෙන්ම, ගොවියා, පාරිභෝගිකයා සහ සැපයුම්කරු සම්බන්ධ කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සහ දුරස්ථ අධ්‍යාපනය ඇතුළු කරුණුවල දී ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පෙරට යාම යනාදිය එවැනි ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

සෑහෙන තරමේ වත්කම් සහිත රටවල්වලටත් වඩා ඵලදායී ලෙස කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රශංසා කර තිබේ. 71% ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පසුගිය මස මුල දී පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වූ පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වන අතර, යුනිසෙෆ් විසින් ද ප්‍රශංසා කරන පරිදි දකුණු ආසියාවේ පාසල් විවෘත කර ළමයින් ආරක්ෂිත ආකාරයකින් නැවත ගෙන්වා ගත් පළමු රටවල් අතර ද ශ්‍රී ලංකාව සිටී. තවද, ලෝක චාරිකා හා සංචාරක කවුන්සිලය (WTTC) සංචාරකයින් සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මෑතක දී මුද්‍රා තබා ඇත.

සභාපතිතුමියනි,

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ ශ්‍රමිකයන් මිලියන 1.5 ක් පමණ දෙනා විදේශගතව සිටියහ. මෙම සංක්‍රමණික  ශ්‍රමිකයන්ගෙන්  බොහෝ  ‌ දෙනෙකුට රැකියා සහ ජීවනෝපාය මාර්ග අහිමිවීමේ ඛේදජනක තත්ත්වයට මුහුණ දී සිටින අතර සමහරු බලහත්කාරයෙන් ආපසු එවනු ලැබීමේ අභියෝගයට මුහුණ දී සිටිති.

ඔවුන්ගේ ගැටලු විසඳීම, අවශ්‍ය අවස්ථාවල දී ආහාර හා ඖෂධ ලබා දීම මෙන්ම, හැකි සෑම අවස්ථාවක දීම සත්කාරක රටවල් සමඟ එක්ව ඔවුන්ගේ තත්ත්වය නීත්‍යානුකූල කර ගැනීම සහ කොවිඩ්-19 සඳහා පරීක්ෂා කිරීම ඇතුළු වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.

සෞඛ්‍ය, නිරෝධායන සහ සංචාරක සැපයුම් අංශ කළමනාකරණය කිරීම සඳහා වූ සමස්ත රජයේ ප්‍රවේශයක් තුළින් සංක්‍රමණික ශ්‍රමිකයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු ගෙන්වා ගැනීම කඩිනම් කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.

සභාපතිතුමියනි,

මෙම ගෝලීය වසංගතය හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ ආර්ථික හා ණය අර්බුදයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකාව මහත් ඕනෑකමින් සඳහන් කරයි. මෙම රටවල් සඳහා ණය සහන සහ මූල්‍ය උත්තේජනයක් ලබා දීමේ අවශ්‍යතාවය නිසි ලෙස හඳුනාගත යුතුව තිබේ. මෙම ගෝලීය වසංගතය නිසා ඇති වූ හෝ උග්‍ර වූ විවිධ සමාජ-ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට හැකි වන පරිදි එවැනි රටවලට අවශ්‍ය මූල්‍ය ආධාර සැපයීම වැදගත්ය. කොවිඩ්-19 ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය  පහසුකම් සඳහා සෑම රටකටම සීමා රහිත ප්‍රවේශයක් තිබීම සහ ඒවායේ ප්‍රසම්පාදන කටයුතුවලට බාධා ඇති නොවීම සහතික කිරීම ද අත්‍යවශ්‍ය  වේ.

මෙම අර්බුදය සඳහා වන ගෝලීය ප්‍රතිචාරය සම්පුර්ණ කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ජාතික හා කලාපීය මට්ටමින් කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව විශ්වාසය තබයි. මේ අනුව, මෙම අභියෝගයට මුහුණ දීම සඳහා දකුණු ආසියානු කලාපයට සහාය වීම පිණිස ශ්‍රී ලංකාව සාර්ක් කොවිඩ්-19 හදිසි අරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ආධාරයක් ලබා දී ඇත.

අවසන් වශයෙන්,

සියලු ජනතාවගේ යහපත උදෙසා, කොවිඩ්-19 වසංගත තත්ත්වයට පුළුල්, සාමූහික හා ඵලදායී ප්‍රතිචාරයක් දැක්වීම සඳහා දරන ගෝලීය ප්‍රයත්නවලට ශ්‍රී ලංකාව දක්වන නිසැක සහයෝගය මම යළි තහවුරු කරමි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close