සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතියට සියලු රටවල් අනුගත විය යුතුයි

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතියට සියලු රටවල් අනුගත විය යුතුයි

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) ඇතුළු ජාත්‍යන්තර නීතීයට අනුගතවීම සහ ගරු කිරීම සියළුම රටවල වගකීම බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

2020 නොවැම්බර් මස 28 වන දින, කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේදී පවත්වන ලද, සමුද්‍රීය සහයෝගිතාවය පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වීය රැස්වීමේ සමාරම්භක උත්සවයේදී,  විදේශ අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ බව අවධාරණය කෙළේය. මේ අවස්ථාවට මාලදිවයින් විදේශ අමාත්‍ය මාරියා ඩිඩී, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අජිත් දෝවාල් ආරක්ෂක ලේකම්,  මේජර් ජනරාල් කමල් ගුණරත්න, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන්ද සහභාගි වී සිටියහ. මෙහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

"සය වසරක නිහැඬියාවකින් පසු  කැඳවනු ලබන මෙම වැදගත් ත්‍රෛපාර්ශ්වීය ආරක්ෂක රැස්වීමට සපැමිණි ඔබ සහ ඉන්දියාවේ සහ මාලදිවයිනෙහි නියෝජිත පිරිස් උණුසුම්ව පිළිගැනීමට  මුලින්ම මට අවසර දුන මැණවි. එසේම නිරීක්ෂකයෙකු ලෙස මුල්වරට සහභාගී වන බංග්ලාදේශය මෙන්ම නියත වශයෙන්ම  2014 වර්ෂයේ සිට නිරීක්ෂකයින් ලෙස අප හා එක්ව කටයුතු කරනු ලබන මුරිසිය සහ සීෂෙල්ස්ද සාදරයෙන් පිළිගනිමි.

කොවිඩ්-19  වසංගතය හේතු කොට ගෙන උද්ගතව ඇති අභියෝග හමුවේ නොසැලී, ඔබ කොළඹට පැමිණීමෙන් මොනවට පැහැදිලි වන්නේ, අපගේ ප්‍රධානතම සමුද්‍රීය ආරක්ෂක අභිලාෂයන් පිළිබදව සහ  කලාපයේ ස්ථාවරත්වය සහ සුබසාධනය උදෙසා, සහයෝගයෙන් කටයුතු කිරීමේ පොදු කාර්යය භාරයට තනි තනි වශයෙන් හා සාමූහිකව යන දෙයාකාරයෙන්ම  පවත්නා ඇපකැපවීමයි. අපගේ ජාතික ප්‍රමුඛතාවයන් විසින් අප වෙතින් අපේක්ෂා කරනු ලබන්නේ, එකිනෙකාගේ සාමූහික  ආරක්ෂාව සහ සුබ සාධනය තහවුරු කරලීම පිණිස සහයෝගයෙන් කටයුතු කිරීමයි. වෙරළාසන්න රාජ්‍යයන් ලෙස, අපගේ සමෘද්ධිය උදෙසා ඉන්දියානු සාගරය අතිශයින් වැදගත්  වන අතර, සමහරකගේ මතය අනුව, 21 වන ශත වර්ෂයේදී ග්‍රහලෝකයෙහි ඉරණමද එමඟින් තීරණය කෙරෙනු ඇත. මෙකී අරමුණු හඹායාම පිණිස මෙම සංසදයෙන් අගනා අවස්ථාවක් උදා වේ.

අපගේ ආරක්ෂාව, භෞතිකමය ආරක්ෂාවට සහ ඵහි ප්‍රතිඵලයක් වන කලාපීය ස්ථාවරත්වයට පමණක් සීමා නොවන අතර, සමුද්‍රීය පරිසරය මුහුණ පා ඇති තර්ජන ඇතුළු ආරක්ෂාවට අදාළ වූ සාම්ප්‍රදායික නොවන  ආරක්ෂක අභියෝගයන්ගෙන්ද සමන්විත වෙයි. සමුද්‍රය පදනම් කොටගත් ජීවීන් සහ ස්වාභාවික සම්පත් පමණ ඉක්මවා අනිසි ලෙස උපයෝජනය, දූෂණය, තෙල් උතුරායාමෙන් සහ රසායන ද්‍රව්‍යවලින් ඇතිවන තර්ජන, සමුද්‍ර ආම්ලිකකරණය සහ සාගර මට්ටම ඉහළයාම අප විසින් මුහුණ පා ඇති ගැටලු අතරට ගැණේ.

ඉන්දියානු සාගරය වූ කළී, ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් 60% ක් සඳහා වග කියනු ලබන ලෝකයේ නෞකා මඟින් කෙරෙන නාවික බල ශක්ති ප්‍රවාහන ජාලයේ  80% ක් ස්වකීය සාගර කලාපයන් ඔස්සේ සිදු කෙරෙන බවට සාක්ෂි දරන සහ ජාත්‍යන්තර වෙළඳ භාණ්ඩ අලෙවියෙහි 46% ක් සඳහා පහසුකම් සලසන, ලෝකයෙහි තෙවන විශාලතම සාගරය වෙයි. ලෝකයෙහි බහාළුම් ප්‍රවාහනයෙහි  55% ක් සිදු කරනු ලබන්නේ  මෙම සාගර කලාපය ඔස්සේය. ඉන්දියානු සාගරයෙහි මුහුදු මාර්ගවල වර්ධනය වෙමින් පවතින කාර්ය බහුලත්වය හමුවේ, සමුද්‍රීය ආරක්ෂාව කෙරෙහි අප ප්‍රමුඛත්වය ලබා දිය යුතුව තිබේ.

ඉන්දියානු සාගරයෙහි පවත්නා ඉඩප්‍රස්ථා කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත. මෙම ඉඩප්‍රස්ථා සමඟ අත්වැල් බැඳ එනු ලබන්නේ අපගේ ජනතාව, කලාපය සහ සමස්තයක් ලෙස මුළු මහත් ලෝකයම කෙරෙහි ඉටු විය යුතුව ඇති වගකීම් සමුදායයි. මෙම කටයුතුවලදී ස්‌වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම පදනම්  කරගනිමින් කටයුතු කළ යුතුය. අපගේ මුහුදුවල සහ ගුවන් අවකාශයේ යාත්‍රණ නිදහස පවත්වා ගෙන යාමෙහි සහ සන්නිවේදන මුහුදු මාර්ග සහ මුහුදු මාර්ග කේබල ආරක්ෂා කර ගැනීමෙහි වැදගත්කම අපි දකිමු.

අදට ශත වර්ෂ විසිහයකට පෙර, ගෞතමයාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් සති කිහිපයකට පසු, බුදුන්වහන්සේගේ මුල්ම අනුගාමිකයන් දෙදෙනා බවට පත්වූ තපස්සු සහ භල්ලුක යන දෙබෑයින් ඉන්දියානු සාගරයෙහි ගමනාගමනයෙහි නියැලුණ සාර්ථක වෙළඳුන් දෙපළකි. ඇත්ත වශයෙන්ම, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ත්‍යාග වශයෙන් ලත් ඔවුන් දිවයිනෙහි ඊසාන දිග ත්‍රිකුණාමලය වරාය වෙත සම්ප්‍රාප්තව, එකී සර්වඥ ධාතු නිදන් කොට ඉදි කරණලද ‘ ගිරිහඬු සෑය‘ චෛත්‍යයට අද දක්වාම බෞද්ධයෝ වැඳුම් පිදුම් කරති. එකී වෙළඳුන් දෙපළ ඉන් අනතුරුව බෙංගාල බොක්ක ඔස්සේ චිතගොං සහ මියන්මාරය වෙත ගමනාරම්භ කළාහ.

එවන් ඓතිහාසික අහඹු හමුවීම් නිරන්තරයෙන් සිදු වූ අතර, එයින් සනාථ වන්නේ  සමීපස්ථ සහයෝගිතාවය හරහා ඇතිවී ඇති ඉන්දියානු සාගරයෙහි අපගේ අන්‍යෝන්‍ය ආරක්ෂාව අවුරා නොතබමින් කිසිවෙකුටත්  අනභිභවනීයත්වයට හිමිකම්පෑම නොකළ හැකි බවය. එක් යථාදර්ශයකට අනුව, ක්‍රිස්තු පූර්ව 16 වන ශත වර්ෂයේ සිට 20 ශත වර්ෂයේ මැද භාගය දක්වා අපගේ කලාපයෙහි ආධිපත්‍යය පවත්වා ගෙන යන ලද යුරෝපා බලවතුන් අරාබි මුහුදු සහ ඉන්දියානු සාගරය ඔස්සේ පෙරදිග ආක්‍රමණයෙහි යෙදෙන ලද්දේ ස්වකීය උසස් සමුද්‍රීය හැකියාවන් නිසාවෙනි.

සම්භාවනීය නියෝජිතවරුනි,

ඉන්දියානු සාගරයේ ස්ථාවරත්වය කෙරෙහි  අප රට දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කර තිබේ. 1982 වසරේදී බලාත්මක වූ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය පිළිබඳ සාකච්ඡාවල සභාපතිත්වය සාර්ථකව දරා සිටීමේ ප්‍රභවාත්මක භූමිකාව හැරුණු කොට, ශ්‍රී ලංකාව විසින් සම මතධාරී නොබැඳි සමුළු රටවල් සමඟ එක්ව, 1971 වර්ෂයේදී පැවැති 26 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී  යෝජනා සම්මතයක් ඉදිරිපත් කරන ලද අතර, එහි ප්‍රතිඵලය වූයේ “ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස” ස්ථාපනය කරණ ලෙස ඉල්ලා ඉදිරිපත් වූ යෝජනා සම්මුතිය අනුමත වීමයි.

අදට වර්ෂ 500 කට අධික කාලයකට පෙර, නිශ්චිත වශයෙන් 1470 ගණන්වලදී, ‘සීතාවක‘ රාජධානියෙහි   ‘මායාදුන්නේ‘ සහ ‘රාජසිංහ‘ පාලන සමයෙහිදී, කැලිකට්හි සැමොරින් රජදරුවන් හා එක්ව ඉන්දියානු සාගර කලාපයෙහි පෘතුගීසි අධිරාජ්‍ය හමුදා ආක්‍රමණයන්ට එරෙහිව සාමූහිකව සටන් වැදුණු බව, ඓතිහාසික  ලේඛණයන්හි අන්තරගතව ඇත. එය, අපගේ ස්වෛරී රාජ්‍යයන්ගේ  ආරක්ෂාව උදෙසා, ආක්‍රමණවලට එරෙහිව  දියත් කරන ලද ඒකාබද්ධ නාවික ප්‍රයත්නයක සුපැහැදිලි වාර්තාවකි. සම සාරධර්මයන් හා සමාන පාලන ආකෘතීන්වලට අනුගතව ක්‍රියා කරනු ලබන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන් වන අපි,  සමානාත්මතාවය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ ස්වාධිපත්‍යය මත පදනම් වූ නීතියේ ආධිපත්‍යයට සහ ජාත්‍යන්තර සාමයට ගරු කරනු ලබන අතිශයින් ශක්තිමත් සාම්ප්‍රදායයක හිමිකරුවන් වෙමු.

සම්භාවනීය නියෝජිතවරුනි,

අපගේ සමුද්‍රීය ආර්ථිකය සතුව, විශේෂයෙන්ම නව ‘හරිත නීල’ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අති විශාල හැකියාවක් පවතී. ඉන් එක් ක්ෂේත්‍රයක් වන්නේ සාගර ජලයෙහි මෙතෙක් උපයෝජනය කර නොමැති පුනර්ජනනීය බලශක්ති උත්පාදනයයි. මෝසම් සුළං ඍතු දෙකින්ම නිසැකයෙන් සහතික වන්නේ මෙම දැවැන්ත හැකියාවයි. අපගේ කලාපීය වර්ධනය උදෙසා දේශගුණ-හිතකාමී ආකාරයකට  මෙකී පාරිසරික හිතකාමී විධික්‍රම භාවිතයට යොදා ගැනීම හා ශක්තිමත් කිරීම අප විසින් කළ යුතු වේ.

සීමිත සම්පත් සහ ශක්‍යතාවයන් අප සතුව පැවතියද, ස්වාභාවික හා සමුද්‍රීය හදිසි අවදානමකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිණිස අවශ්‍ය සම්පත් අපගේ කලාපයෙහි බලවත් පාර්ශ්වකරුවන් සතුව පවතී. පසුගිය සැප්තැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ අනන්‍යතා සමුද්‍ර තීරයෙහි එම්.වී. නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙහි ගින්න ඇතිවූ අවස්ථාවෙහිදී, කාලෝචිත හා නිර්භීත කටයුතුවල නියැලුණ ඉන්දීය සහ ශ්‍රී ලාංකික නාවික හා වෙරළාරක්ෂක හමුදාවන්ට සුභාශිංසන පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයන්හි දී අප අසාර්ථක වන ලද්දේ නම්, එනයින් අපගේ සාගර සම්පත් හා පරිසරයට උපකල්පනය කිරීමට නොහැකි තරමේ පාරිසරික ආපදාවක් විය හැකිව තිබුණි. මුරුෂි සාගර කලාපයෙහි එම්.වී. විකාෂියෝ නෞකාව අනතුරට පත්වූ අවස්ථාවෙහිදී ද සාමුද්‍රීය ආරක්ෂාව සඳහා පෙර සූදානම් සහිත වීම පිළිබඳ අනතුරු හැඟවීම් සිදු විය.

අපගේ ආරක්ෂක සංවිධානයන් වෘත්තිමය සහ මනා පුහුණුවකින් සන්නද්ධවන නමුත්, නීතිවිරෝධී ක්‍රියාකාරකම් මුළුමනින්ම වළක්වාලීමෙහි ලා, විශේෂයෙන්ම සීමාවලට යටත් නොකළ ආර්ථිකමය ක්‍රියාකාරකම් සහ මිනිස්, මත්ද්‍රව්‍ය සහ අවිආයුධ වැනි විවිධ නීති විරෝධී ජාවාරම්වල නිදහස් සංචරණය සන්දර්භයෙහි ලා, අපගේ නාවික හමුදාවන්ට දැඩි අභියෝගයක්ව ඇත්තේ ඉන්දියානු සාගරයෙහි සුවිශාලත්වයයි.

අපගේ නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර  මෙවන් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට අදාළ සහයෝගිතාවය වැඩිදියුණු කර ගැනීම සහ තොරතුරු බෙදා හදා ගැනීම, සිදුකර ගෙන යනු ලබන මෙම සංවාදයේදී අතිශයින් වැදගත් වනු ඇත.

සම්භාවනීය නියෝජිතවරුනි,

අපගේ කලාපයෙහි තාක්ෂණවේද වර්ධනයෙහි අනාගත හැකියාව නිසැකවම අපේක්ෂා දනවන්නකි. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමුද්‍රාභ්‍යන්තරයෙහි සහ අපගේ සාගරයෙන් ඉහළ ආකාශයෙහි භෞතික රැහැන් ඔස්සේ ගමන් කරන  සෑම දත්ත අංශු මාත්‍රයක්ම  විශාල ප්‍රමාණයක දත්ත හුවමාරුවක යෙදෙන බව අදහස් කෙරෙන හෙයින්, තොරතුරු තාක්ෂණයෙහි වර්තමාන සාර්ථකත්වය ඉතා යහපත් දර්ශකයක් ලෙස සැලකිය හැකිය. ආර්ථික වශයෙන් සලකා බැලීමේදී, වර්තමාන නාවික ගමනාගමන මංතීරුවලට සමානව අති මහත් ආදායම් ප්‍රභවයක් සහිත වූ නවතම ආර්ථිකයක් පහසුවෙන්ම උත්පාදනය කර ගැනීම මෙනයින් කර ගත හැකිය.

2011 වසරෙහි ඔක්තෝබර් මාසයේදී පැවැත්වූ මුල් රැස්වීමේදී ගත් ක්‍රියාමාර්ගවලට මුල්වූ ඉන්දියාවෙහි, මාලදිවයිනෙහි සහ ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන පෞරුෂයන්හි පරිකල්පනමය නායකත්වයට සහ දූරදර්ශී ඥාණයට   අපගේ දැඩි කෘතඥතාවය හිමි විය යුතු වේ.

සම නිර්මාතෘ - එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ධුරන්ධර - වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මෙම සංවාදය යටතේ අප විසින් ලුහුබැඳ යනු ලබන ඉලක්ක කෙරෙහි අද දක්වාම ඇප කැපවී සිටී.

අද දින පැවති මෙම රැස්වීම, අවාසනාවකට මෙන් යම් කාලයකට අකර්මණ්‍යව පැවැති සංසදය ප්‍රති-ස්ථාපනය කර ගැනීම පිණිස දරන ලද සංයුක්ත ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයකි. මෙම කර්තව්‍ය පෝෂණය කරමින්, තිරසාර ආරක්ෂිත ආකාරයකට අපගේ සම්පත්වලින් පරිපූර්ණ ප්‍රතිලාභ උකහා ගැනීම පිණිස ක්‍රියා කිරීම අපගේ සාමූහික වගකීම වන්නේය. එවන් මහා පරිමාණයක සමුද්‍රීය ආර්ථික ක්‍රියාකාරකම්වලින් ප්‍රතිලාභ අත්පත් කර ගන්නා අතරම, ඉන්දියානු සාගරයේ ආරක්ෂාව අප ජනතාවන්ගේ සෞභාග්‍යය උදෙසා වන ප්‍රමුඛතම සාධකයක් ලෙස පවතිනු ඇත. එම නිසා, මෙම සංසදයේදී  ඔබ විසින් සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග හේතු පාදක කොට ගෙන අපගේ පොදු සාර්ථකත්වය හැඩ ගැන්වෙන බව සහ නිර්වචනය වන බව සියළුම කොටස්කාර පාර්ශ්වයන්ට සිහිපත් කිරීමටද මෙය අවස්ථාව කර ගනිමි.

සම්භාවනීය නියෝජිතවරුනි,

නෝනාවරුනි, මහත්වරුනි,

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව අතිශයින් වැදගත් මෙම සංසදයේදී සාර්ථක සහ ඵලදායී  සාකචඡාවල නියැලීමට අවස්ථාව ඔබට උදාවේවායි ප්‍රාර්ථනය කරමින් මාගේ කථාව සමාප්ත කිරීමට මට අවසර දුන මැණවි.

ඔබ සැමට මාගේ ස්තුතිය”.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close