2022 Bedford River Festival හිදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ

2022 Bedford River Festival හිදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, එක්සත් රාජධානියේ වෘත්තීයමය ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය (APSL), එක්සත් රාජධානියේ බැසිලූර් ටී සමාගම, ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්සස් (IIHS) සහ බෙඩ්ෆෝර්ඩ්ෂයර් හි ශ්‍රී ලංකා සමාජය යන ආයතනවල සහයෝගය ලද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, 2022 ජූලි 23 සහ 24 යන දිනවල පැවති 'Bedford River Festival' නමින් සම්මානයට පාත්‍ර වූ වැඩසටහන අතරතුර වෙළඳ සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකාවේ අත්කම්, සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය හා උරුම සහ 'ලංකා තේ' යනාදිය විදහා දක්වන ලද මෙම වැඩසටහන මගින්, ශ්‍රී ලංකාව නිවාඩු ගත කිරීම සඳහා යෝග්‍ය වන මීළඟ ගමනාන්තය ලෙස බෙඩ්ෆෝර්ඩ් ප්‍රජාව අතර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙහිදී අවස්ථාව සැලසිණි. “So Sri Lanka” තේමාව රැගත් බැනර් ප්‍රදර්ශනය කිරීම මෙන්ම අත් පත්‍රිකා, සිහිවටන සහ සිතියම් බෙදා හැරීම මගින් “ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය” සඳහා පුළුල් ප්‍රචාරණයක් සංවිධානය කරන ලදී. විවේක කාලය ගත කිරීම, ආහාරපාන, සංස්කෘතිය, වනජීවීන්, ක්‍රීඩා සහ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන එක්සත් රාජධානියේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිරිනමන අවස්ථා රැසක් මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රවර්ධනය කරන ලදි.

ශ්‍රී ලංකාවේ අත්කම් ජාත්‍යන්තර තලය තුළ ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඊට සහය දැක්වීමේ අරමුණින් ජාතික ශිල්ප සභාවේ 'ලක් ශිල්ප' නමැති සන්නාමය යටතේ අත්කම් භාණ්ඩ රැසක් මෙම ප්‍රදර්ශන කුටියේ දී අලෙවි කරන ලදි. මෙහිදී පවත්වන ලද 'ලංකා තේ' රස බැලීමේ අංගය සහ ප්‍රශ්න විචාරාත්මක සැසිය River Festival වැඩසටහනේ විශේෂ අංගයක් බවට පත්විය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ උරුම ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, 2022 ජූලි 24 වැනි දින ප්‍රදර්ශන කුටිය තුළ මෙන්ම ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඉදිරිපත් කෙරෙන ප්‍රජා වේදිකාව මත නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. ‘තෙල්මේ’, ‘නාග රාක්ෂ’ සහ ‘ගුරුළු රාක්ෂ’ ඇතුළු උඩරට සහ පහතරට නැටුම් රැගත් විචිත්‍ර නර්ථනාංග ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක්විය. ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය මිල් මිඩෝව්ස් (Mill Meadows) ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබුණි. ක්‍රියාකාරකම් සහ වෙළඳ කුටි විශාල ප්‍රමාණයක කේන්ද්‍රස්ථානය වන මෙම ප්‍රදේශය සතුව බෙඩ්ෆෝර්ඩ්ෂයර් ප්‍රජාවේ ඉතා ජනප්‍රිය ප්‍රසංග ඉදිරිපත් කරන වේදකාව ද පිහිටා ඇත. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය සහ බෙඩ්ෆෝර්ඩ් හි නගරාධිපති ඩේව් හොජ්සන් මැතිතුමා මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

බෙඩ්ෆෝර්ඩ් බොරෝ කවුන්සිලය සංවිධානය කරන 'Bedford River Festival' යනු ක්‍රීඩා සහ ගංගා ආශ්‍රිත ක්‍රියාකාරකම්, පාරු සහ ඩ්‍රැගන් බෝට්ටු තරග, සජීවී සංගීතය සහ ප්‍රසංග, විනෝද සල්පිල්, ආහාර සහ වෙළඳ කුටි ඇතුළු වැඩසටහන් සහ ආකර්ෂණීය අංග රැසක් සහිත සෑම වසරකම ගිම්හාන ඍතුවේ පැවැත්වෙන උළෙලකි. මෙම වසරේ පැවති උළෙල සඳහා 250,000 ක පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජූලි 27 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close