2022 ඉන්ටර්නැෂනල් බසාර් (2022 International Bazaar) ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළු බඩු සහ කෝපි ඇතුළු  ශ්‍රී ලංකාවේ හොඳම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලැබේ

2022 ඉන්ටර්නැෂනල් බසාර් (2022 International Bazaar) ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළු බඩු සහ කෝපි ඇතුළු  ශ්‍රී ලංකාවේ හොඳම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලැබේ

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 නොවැම්බර් 20 වැනි දින පිලිපීනයේ පාසේ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති 2022 ඉන්ටර්නැෂනල් බසාර් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

කීර්තිමත් ලංකා තේ සන්නාම වන ඩිල්මා, බැසිලූර්  සහ ජෝර්ජ් ස්ටුවර්ට්ස් යන දේශීය තේ බෙදාහරින්නන් සමඟ එක් වූ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව ලංකා තේ, කුළුබඩු සහ කෝපි යන හොඳම නිෂ්පාදන ඇතුළත් සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කළේ ය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සෙනෙට් සභික ලොරේන් ලෙගාර්ඩා මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් එන්රික් මනාලෝ මහතාගේ භාර්යාව සහ ඉන්ටර්නැෂනල් බසාර් පදනමේ (IBF) සභාපතිනිය වන පැමෙලා ලුයිස් මනාලෝ මහත්මිය විසින් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විධිමත් අයුරින් විවෘත කරන ලදී.

මෙහිදී ලේකම් මනාලෝ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්ට සහ අමුත්තන්ට නැවුම් ලංකා තේ සංග්‍රහ කෙරිණි. තවද, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කෝපි සහ කුළුබඩු වර්ග ද හඳුන්වා දෙන ලදී. එමෙන්ම, සංචාරක අත් පත්‍රිකා බෙදාහරින ලද අතර, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම සඳහා ප්‍රදර්ශන කුටියේ සකස් කොට තිබූ ස්ථානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කෙරෙන වීඩියෝ පට ප්‍රදර්ශනය කරන ලදී.

“Where the World Comes to Shop” නමැති තේමාව සමඟින් මෙවර පැවති ඉන්ටර්නැෂනල් බසාර් ප්‍රදර්ශනය, විදේශ කටයුතු දෙපාර්තමේන්තුව, පිලිපීනයේ රාජ්‍යතාන්ත්‍රික සහ කොන්සියුලර් බලකාය සහ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ භාර්යාවන්/ස්වාමිපුරුෂයන් සමඟ සහයෝගයෙන් ඉන්ටර්නැෂනල් බසාර් පදනම (IBF) විසින් සංවිධානය කරන ලද වාර්ෂික උත්සවයකි. එය, පිලිපීනය පුරා සිටින එහි ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සහ ශිෂ්‍යත්ව ව්‍යාපෘති සඳහා අවශ්‍ය ආධාර රැස්කිරීම අරමුණු කරගත්  ප්‍රදර්ශනයක් ද වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 නොවැම්බර් 29වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close