අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා  ඕමානයේ 2021 විස්සයි විස්ස (T20) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙයි

අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා  ඕමානයේ 2021 විස්සයි විස්ස (T20) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙයි

යෞවන හා ක්‍රීඩා කටයුතු, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ඕමානයේ සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සයිඩ් තෙයාසින් බින් හයිතම් බින් තරික් අල් සයිඩ් මැතිතුමාගේ ආරාධනාවකට අනුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සංචාරයක නිරත වූ අතර, 2021 ඔක්තෝබර් 17 වැනි දින අල් අමරට් හි ඕමාන් ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩා පිටිය තුළ ඕමානය විසින් ප්‍රථම වරට සත්කාරකත්වය දෙන ලද 2021 විස්සයි විස්ස (T20) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූවන්ගේ ක්‍රිකට් තරගයේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ද අමාත්‍යවරයා සමඟ මෙම සමාරම්භක උත්සවයට සහභාගී විය. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සයිඩ් බද්ර් අල්බුසයිඩි මැතිතුමා, ඕමාන මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සයිඩ් ටයිමුර් බින් අසාද් බින් තාරික් මහතා, මස්කට් හි ආණ්ඩුකාර හා රාජ්‍ය අමාත්‍ය සයිඩ් සයුද් බින් හිලාල් අල්බුසයිඩි මැතිතුමා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති සෞරව් ගංගුලි මහතා යනාදීහු ද අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟින් සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

සමාරම්භක උත්සවයට සමගාමීව අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සිය ඕමාන මිත්‍ර පාර්ශ්වය නියෝජනය කළ සයිඩ් තෙයාසින් බින් හයිතම් බින්ස් තරික් අල් සයිඩ් මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වී ය. මෙම සාකච්ඡාවේ දී ඔවුහු ක්‍රීඩා සහ යෞවන කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සොයා බැලූහ. තවද, මිත්‍ර රටවල් දෙක අතර ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක අවබෝධතා ගිවිසුමක් පිළිබඳව ද මෙම හමුවේ දී යෝජනා කෙරිණි.

මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි සපැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සඳහා රැස්වීම් මාලාවක් සංවිධානය කළේ ය. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ප්‍රවාහන, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය සයිඩ් බින් හමූද් බින් සයීඩ් අල් මාවලි මැතිතුමා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අතර ද්විපාර්ශ්වික හමුවක් 2021 ඔක්තෝබර් 18 වැනි දින පැවති අතර එහිදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සමුද්‍රීය සම්බන්ධතා මෙන්ම වරාය සහයෝගීතාව යන අංශ සම්බන්ධයෙන් දෙරටෙහි සහයෝගීතාව තහවුරු කර ගැනීමට අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ.

ඕමාන් හොකී සංගමයේ සභාපති මාර්වන් අල් ජුමා මහතා සමඟ ද ඵලදායි හමුවක් පැවැත්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසරේ යෙදුණු සැමරුම්වලට සමගාමීව  දෙරට අතර ක්‍රීඩා සමාජ මට්ටමේ හොකී තරගාවලි සංවිධානය කිරීම වැනි නව මුලපිරීම් යෝජනා කළේ ය. හොකී ක්‍රීඩකයන් අතරින් අනාගත දක්ෂයන් හඳුනා ගැනීමට සහ හොකී ක්‍රීඩා කරන රටවල් අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් සිව්-කොන් හොකී ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට ද අමාත්‍යවරයා යෝජනා කළේ ය.

ඕමාන රජය සතු  දිනපතා පුවත්පතක් වන “Oman Observer” ඉංග්‍රීසි පුවත්පතට අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ඕමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ගැන ප්‍රශංසා කළ අතර, ඕමානයේ කාන්තා දිනයට සමගාමීව රාජකීය කාන්තා අශ්වාරෝහක කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක් ද ඇතුළත්ව පැවැත්වූ  විචිත්‍රවත් 2021 අයි.සී.සී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා සුල්තාන් රාජ්‍යය විසින් ප්‍රථම වරට සත්කාරකත්වය ලබා දීම පිළිබඳව ඕමාන රජයට සිය සුබ පැතුම් එක් කළේ ය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා මස්කට් විදුහල (SLSM) වෙත ගොස් එම පාසලේ ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කිරීම සහ ක්‍රීඩාවෙන් දස්කම් දක්වන ශ්‍රී ලාංකික විදේශිකයන්ගේ දරුවන්ට ජාතික මට්ටමෙන් අවස්ථා සලසා දීම පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වී ය.

එමෙන්ම, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ඇතුළුව ශ්‍රී ලංකාවේ පුළුල් වෙමින් පවතින ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, තානාපති කාර්යාලය ශක්‍යතා සහිත ආයෝජකයන්ගේ සහභාගිත්වයෙන් හෝර්මුස් ග්‍රෑන්ඩ් මස්කට් හෝටලයේ දී දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කළේ ය.

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සාරවත් ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් ඕමාන කෞතුකාගාරයේ සංචාරයක් ද සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම වසරේ යෙදුණු සැමරුමට සමගාමීව ඕමානය විසින් ප්‍රථම වරට සත්කාරකත්වය ලබා දුන් 2021 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ තරගයේ සමාරම්භක උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ආරාධනාව වෙනුවෙන් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සයිඩ් තෙයාසින් බින් හයිතම් බින් තරික් මැතිතුමා වෙත සිය අවංක ස්තුතිය පළ කළේ ය. දෙරට අතර පවත්නා යහපත් ද්විපාර්ශ්වික සබඳතා ඉදිරි වසර කිහිපය තුළ ඉහළ තලයකට ගෙන ඒම සඳහා මෙම ඉහළ පෙළේ සංචාරය හේතු වනු ඇති බව ද තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා පැවසී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 ඔක්තෝබර් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close