2020 නොවැම්බර් 10 දින පැවති කොවිඩ් පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අදහස් දක්වයි

2020 නොවැම්බර් 10 දින පැවති කොවිඩ් පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අදහස් දක්වයි

චීනය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල උප විදේශ අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 10 වන දින උප අමාත්‍ය මට්ටමේ අන්තර්ජාල සංවාදයක් පැවැත්විණි.

මෙම සමුළුවේ දී උප අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මැතිතුමා චීනය නියෝජනය කළ අතර, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදහස් දැක්වීය.

දැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සහ සහයෝගීතාව පිළිබඳ අංශ ගණනාවක් මෙම සංවාදයෙන් ආවරණය විය. අත්දැකීම්, විශේෂඥතාව සහ ඉදිරියට යාම සඳහා සහාය සඳහා කැපවීම තුළින් සියලු රටවල් මුහුණ දෙන අන්‍යෝන්‍ය අභියෝග පිළිබඳ සාකච්ඡා ද මෙම සංවාදයෙන් දැකගත හැකි විය.

මෙම අවස්ථාවට එක්වෙමින් වත්මන් අර්බුදයෙන් මිදීමට සාමූහික ප්‍රතිචාරයක් අවශ්‍ය බව අවධාරණය කළ අමාත්‍ය බාලසූරිය මැතිතුමා, වර්තමාන තත්ත්වය හරහා සැරිසැරීමේ දී ‘හවුල්කරුවන්’ වන ලෙස සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා මෙම අන්තර්ජාල සංවාදය අතරතුරදී සිදුකළ ප්‍රකාශය පහත් පරිදි වෙයි.

2020 නොවැම්බර් 19 සිට 10 දක්වා දිනවල පැවති කොවිඩ් පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා කළ ‘කොවිඩ්-19 සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රතිචාරය’ ප්‍රකාශය

හැඳින්වීම

චීනයේ උප විදේශ අමාත්‍ය ගරු ලුවෝ ජාවෝහුයි මැතිතුමා සහ සම්භාවනීය අමුත්තනි,

ආරම්භයේදීම, චීන විදේශ අමාත්‍යාංශය ඉතා වැදගත් මාතෘකාවක් මත මෙම කාලෝචිත රැස්වීම සංවිධානය කිරීම පිළිබඳව ප්‍රශංසා කරමි.

මිලියන 22 ක ජනගහනයක් වෙසෙන සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට, සීමිත සම්පත් හා සීමිත බාහිර ආධාර සහිතව වෛරසය පැතිරීම ඵලදායී ලෙස පාලනය කිරීමට හැකි වී තිබේ. අද වන විට ශ්‍රී ලංකාවේ මරණ 36 ක් සහ කොවිඩ් රෝගීන් 14,000 ක් වාර්තා වී තිබේ. ඔවුන් සියලුදෙනාම විදේශයන්හි සිට පැමිණි අය හෝ විශේෂිත පොකුරකට අයත් අය ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මුල් මැදිහත්වීම මඟින් 2020 ජනවාරි මාසයේදී කොවිඩ්-19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශය, ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදා, පොලිස් හා බුද්ධි සේවා, විදේශ අමාත්‍යාංශය සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන එක් කරමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට හේතු විය. මෙය රාජ්‍යයේ සියලුම ආයතන සහයෝගයෙන් හා එක්ව කටයුතු කර ජයගත යුතු අභියෝගයක් මිස, සෞඛ්‍ය අංශයට පමණක් කළ හැකි කාර්යයක් නොවන බව ශ්‍රී ලංකාව විසින් ආරම්භයේදීම වටහා ගන්නා ලදී.

ජාතික උපාය මාර්ගයක් අනුගමනය කර ඇති අතර, එය කාර්යය සාධක බලකාය විසින් අඛණ්ඩව සමාලෝචනය කරනු ලැබේ. මෙම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. මෙම ජාතික උපාය මාර්ගයට ප්‍රධාන අංග 04 ක් අයත් වේ;

අ. ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම.

ආ. ආශ්‍රිතයන් සොයා ගැනීම.

ඇ. නිරෝධායනය කිරීම.

ඈ. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම.

හඳුනාගනු ලැබූ සියලුම රෝගීන් පරීක්ෂණවලට භාජනය කරන අතර, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවූ රජයේ රෝහල් දිවයින පුරා පිහිටුවා ඇත. තදබල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් සඳහා අතරමැදි සත්කාර මධ්‍යස්ථාන පිහිටුවා ඇත. අපගේ උපාය මාර්ගයේ තවත් අංගයක් වන්නේ ආසාදිත පුද්ගලයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා අපගේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් භාවිතා කරන ඉතා ඵලදායී ආශ්‍රිතයන් සොයා ගැනීමේ ක්‍රමයයි. වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් දින 14 ක් සඳහා නිවාස නිරෝධායනයට යටත් කරනු ලබන අතර, රජය විසින් මෙම පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් ලබා දී තිබේ. විදේශයන්හි සිට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන්, නම් කරන ලද නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් නිරෝධායනය විය යුතු වේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලැබූ බහුවිධ පියවර අතරට ප්‍රාදේශීය වශයෙන් අගුලු දැමීම්, දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කිරීම සහ පුද්ගල ගමනාගමනය අධෛර්යමත් කිරීම ඇතුළත් වේ. මීට අමතරව, සමාජීය කටයුතු වළක්වා ගැනීම සඳහා ‘නිවසේ සිට වැඩ කිරීමේ’ සංකල්පය පාසල්, විශ්වවිද්‍යාල සහ සේවා ස්ථාන වෙත හඳුන්වා දීමට ද පියවර ගෙන තිබේ. අගුලු දැමීමේ දී හා ඇඳිරි නීතිය පැනවීමේ දී රජය විසින් ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම ඵලදායි ලෙස සිදු කරයි.

ගුවන්තොටුපල වසා දමා ඇති අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් සංක්‍රමණික සේවකයින්, සිසුන් මෙන්ම රෝගී සහ මහලු අය නැවත ගෙන්වා ගැනීම සඳහා සාර්ථක ලෙස විධිවිධාන යොදා ඇත. ශ්‍රී ලංකාව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 44,000 කට අධික සංඛ්‍යාවක් (44,121) විදේශයන්හි සිට ආපසු ගෙන්වා ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණ සහ නිරෝධායන්ට භාජනය විය. විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 67, විදේශ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් යුතුව ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීම සහ ප්‍රමුඛතා පදනමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් කළමනාකරණය පිළිබඳ තවත් වැදගත් අංගයක් වන්නේ රට පුරා ඉතා ඵලදායී ලෙස ක්‍රියාත්මක වන මහජන සෞඛ්‍ය පද්ධතියයි. නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහතික කිරීම සඳහා බිම් මට්ටමේ ජනතාව සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින්, අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරති.

බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් මහජනතාව ද ඵලදායී ලෙස දායක වී ඇත. ස්වේච්ඡා සංවිධාන කිහිපයක් අරමුදල් රැස් කළ අතර, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂක උපකරණ ද පරිත්‍යාග කළහ.

අභියෝග

රජයට මුහුණ දීමට ඇති අභියෝග අතර මූලික වන්නේ, විශේෂයෙන් අවිධිමත් අංශයේ සේවකයින් සහ අඩු ආදායම්ලාභීන් අතර රැකියා අහිමිවීමයි. රජය ජීවන වියදම් ප්‍රදාන, සහන ණය ලබා දෙන අතර, ජනතාවට සහන සැලසීම සඳහා බැංකු හා කල්බදු සමාගම් සමඟ සාකච්ඡා කර ඇත. සලාක ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසික දීමනාවක් ගෙවීම, අගුලු දමා ඇති ප්‍රදේශවල දී ක්‍රියාත්මක කර තිබේ.

ගෝලීය සැපයුම් දාම හා ජාත්‍යන්තර නැව් හා ගුවන් ප්‍රවාහනය කඩාකප්පල් වීම හේතුවෙන් පීඩාවට පත් ඇඟලුම් අපනයනකරුවන් ඇතුළු ශ්‍රී ලාංකික සමාගම්වලට කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීම පිණිස ආරක්ෂක ආම්පන්න සැපයීම සඳහා විදේශයන්ගෙන් ඇණවුම් ලබා ගැනීම මඟින් විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් සහාය ලබා දී ඇත.

අපගේ සමාගම්, ඔවුන්ගේ නිෂ්පාදන, මුහුණු ආවරණ, පෞද්ගලික ආරක්ෂණ උපකරණ සහ වෙනත් අත්‍යවශ්‍ය ආරක්ෂක ආම්පන්න නිෂ්පාදනයට ඉක්මනින් පරිවර්තනය කිරීම තුළින් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ නව්‍යතාවය ඔප්පු කළේය. මේ අනුව, කෙටි දැනුම් දීමකින් ආරක්ෂිත ද්‍රව්‍ය සැපයීම මඟින් ලොව පුරා ජීවිත දහස් ගණනක් බේරා ගැනීම සඳහා එය ඉවහල් වූ බව ශ්‍රී ලංකාවට පැවසිය හැකිය. කර්මාන්තශාලා සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට ද මෙය ඉවහල් විය. සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්තය මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ද ඇතුළුව, වසංගතය මඟින් දැඩි ලෙස පීඩාවට පත් වූ කර්මාන්ත සඳහා රජය විසින් සහන ලබා දී තිබේ.

ජාත්‍යන්තර ආධාර

වසංගතයේ ආරම්භයත් සමඟ, ශ්‍රී ලංකාවට සමානව රටවල් විශාල සංඛ්‍යාවක් ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. අර්බුදකාරී අවස්ථාවකදී සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට සහාය දෙන සාම්ප්‍රදායිකව ආධාර ලබා දෙන ප්‍රජාව ද මෙයට ඇතුළත් ය. එබැවින්, මෙම වසංගතය අතරතුරදී, ශ්‍රී ලංකාවට ලැබෙන බාහිර මූල්‍ය හා ද්‍රව්‍යමය සහාය සීමිත වී ඇත. උපකරණ හා වෛද්‍ය සැපයුම් සැපයූ චීනය ඇතුළු ආධාර දෙන රටවලින් ලැබෙන සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන අතර, කොවිඩ් දෙවැනි රැල්ලක ආරම්භය හමුවේ සැලකිය යුතු සම්පත් හිඟයක් පවතී.

නිපදවනු ලබන එන්නතක් පිළිබඳ ධනාත්මක වර්ධනයන් සම්බන්ධයෙන් ලෝකය අපේක්ෂාවෙන් සිටියදී, අපි දැන් නව සාමාන්‍ය තත්ත්වයකට හැඩගැසෙමින් සිටින්නෙමු.

කෙසේ වෙතත්, මෙම වසංගතයේ දැඩි සමාජ හා ආර්ථික බලපෑම් දිගු කලක් තිස්සේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙන කවරදාකටත් වඩා, පශ්චාත්-කොවිඩ් ලෝකය පිළිබඳ අනාරක්ෂිත දියඹෙහි සැරිසැරීම සඳහා රටවල් එකිනෙකාට සහයෝගය දක්වන හවුල්කරුවන් විය යුත්තේ මේ නිසා ය.

මෙම පසුබිම තුළ,

  • වේගවත් පරීක්ෂණ උපකරණහා වෙන්ටිලේටර් උපකරණ ලබා ගැනීම සහ රෝග විනිශ්චය, ප්‍රතිකාර හා ඖෂධ පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීම,
  • සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකිඅන්දමේ එන්නතක් සඳහා ඉක්මන් ප්‍රවේශය,
  • දේශසීමා පාලනයකිරීම, දේශසීමා හරහා සම්ප්‍රේෂණය වීම, ඇතුල්වීමේ ස්ථානවල දී මැඩපවත්වා ගැනීමේ පියවර සහ හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ අත්දැකීම් සමීපව සහයෝගයෙන් බෙදා ගැනීම,
  • ණය සහන ඇතුළු ආර්ථික ප්‍රකෘතිමත්වීම පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ
  • කර්මාන්තහා සැපයුම් දාමවල සුමට ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා සහයෝගය ලබා දීම

සඳහා ශ්‍රී ලංකාව වැනි රටවලට ආධාර ලැබීම අත්‍යවශ්‍ය වේ.

අප රටවල් අතර සංවාදයක් ආරම්භ කරන මෙම කාලෝචිත රැස්වීම පැවැත්වීම පිළිබඳව සංවිධායකයින්ට ස්තූතිවන්ත වන අතරම, මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමේ දී ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව මෙම කටයුත්තෙහි නිරත වන ලෙසත්, නුදුරු අනාගතයේ දී කොවිඩ් රහිත ලෝකයක් අපේක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටිමි.

The full video can be viewed at:  https://youtu.be/LtwU5Ex0mdA

Print Friendly, PDF & Email
Please follow and like us:

Close