​ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ හයවැනි රැස්වීම

​ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ හයවැනි රැස්වීම

යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ හයවැනි ක්‍රියාකාරී කණ්ඩායම 2022 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී රැස්විය.

  1. මෙම ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ක්‍රියාත්මක වන නිරන්තර ද්විපාර්ශ්වික අන්තර්ක්‍රියා මධ්‍යයේ පැවැත්විණි. මෙම දිනය මුළුල්ලේ, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය පෙරදැරිව, අදහස් සහ අත්දැකීම් සුහදව හුවමාරු කරගැනීම සඳහා අවකාශය සලසා දෙන ලදී. ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ මෑත කාලීන ප්‍රවණතා මෙන්ම, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම හා සබැඳි අදාළ ක්‍රියාමාර්ග සහ ව්‍යවස්ථාදායක මුලපිරීම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කළහ. තවද,  සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද යුරෝපා සංගමය දැනුම්වත් කරන ලදී.
  1. මෙරට පවතින අර්බුදයේ අහිතකර බලපෑම අවම කර, රට තිරසාර සංවර්ධනයක් සහ සෞභාග්‍යයක් කරා ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළුව, වර්තමානයේ දී මෙරට මුහුණ දෙන පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නවලට සහය වීම සඳහා යුරෝපා සංගමය සතු කැපවීම මෙහිදී යළිදු තහවුරු කෙරිණි. තවද, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ දී යුක්තිය සහ සංහිඳියාව තුළින් සමාජ, ආර්ථික සහ දේශපාලන අංග ඇතුළත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යළිදු අවධාරණය කෙරිණි.
  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවීමත් සමඟම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීන අධීක්ෂණය, මහජන පරීක්ෂාව මෙන්ම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත්  21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය දැනුම්වත් කරන ලදී. දෙපාර්ශ්වය මෙම සන්දර්භය තුළ, බලතල,සෝදිසි කිරීම් සහ තුලනය කිරීම් වෙන් කිරීමේ වැදගත්කම සහ ස්වාධීන ආයතනවල අඛණ්ඩව සිදු වෙමින් පවතින වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. තවද, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද ක්‍රියාකාරී කණ්ඩායම මෙහිදී යාවත්කාලීන කරන ලදී. යුරෝපා සංගමය මෙම සන්දර්භය තුළ, 2019 වර්ෂයේ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක මෙහෙයුමේ වැඩ කටයුතු පිළිබඳව සිහිපත් කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සබැඳි වැදගත්කම සහ සාමකාමීව රැස්වීමේ සහ සාකච්ඡා කිරීමේ නිදහස සඳහා ඇති අයිතිය දෙපාර්ශ්වය විසින් යළිදු අවධාරණය කෙරිණි.
  1. යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන, යුක්තිය පිළිබඳ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ (Justice Sector Reform Programme) ප්‍රගතිය යුරෝපා සංගමයේ ඇගයුමට ලක් වූ අතර, යුක්තිය සඳහා පවතින ප්‍රවේශය තවදුරටත් ඉහළ නැංවීම සහ මානව හිමිකම් පිළිබඳ කටයුතු  ඉහළ නැංවීම සඳහා ඔවුන් දායක වනු  ඇත. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දක්වන සහයෝගය ශ්‍රී ලංකාවේ පැසසුමට ලක්විය.
  1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2022 වර්ෂයේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ගත් පියවර යුරෝපා සංගමයේ ඇගයුමට ලක් වූ අතර, එහි බැඳීම්වලට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද  පෙන්වා දෙන ලදී. මෑතක දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කළේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් බව ශ්‍රී ලංකාව විසින් තහවුරු කරන ලදී. 2021-2022 කාල සීමාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳව සඳහන් කළ යුරෝපා සංගමය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවා සිටින රැඳවියන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථාව මෙන්ම, ජාත්‍යන්තර සම්මතයන් සහ හොඳම භාවිතයන්ට අනුකූලව සහ, 2023 වර්ෂයේ දී එය අවසන් කිරීමේ අරමුණින් එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පුළුල් ව්‍යවස්ථාදායක යෝජනාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පවත්නා දැඩි කැපවීම ශ්‍රී ලංකාව විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
  1. සිවිල් සමාජය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම සහ සිවිල් සමාජය සතු සියලු විවිධත්වයන් තුළ ක්‍රියා කිරීමට ඔවුන්ට අවශ්‍ය ඉඩහසර ලබා දීමේ වැදගත්කම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින්  යළිදු තහවුරු කෙරිණි. මෙම ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට යුරෝපා සංගමය සූදානමෙන් පසුවන බව මෙහිදී සඳහන් කෙරිණි.
  1. සුළු ජාතීන් පිළිබඳ තත්ත්වය සහ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ. කාන්තා හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ක්‍රියාමාර්ග මෙන්ම, ළමා ශ්‍රමය තුරන් කිරීම ඇතුළු කම්කරු අයිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔවුහු සිය අදහස් හුවමාරු කර ගත්හ. සමලිංගික සබඳතා සාපරාධී ක්‍රියාවක් ලෙස නොසැලකීම  පිළිබඳව යුරෝපා සංගමයේ මතය නැවත අවධාරණය කළ යුරෝපා සංගමය, මේ සම්බන්ධයෙන් පවතින Private Member’s Bill නමැති පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් කළේ ය.
  1. ගිවිසුම් ආයතන, විශේෂ ක්‍රියා පටිපාටි සහ විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලිය ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ. මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණ සමඟ අඛණ්ඩව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කළේ ය. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ රාමුව තුළ රැඳෙමින් සිය සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ද දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළහ.
  1. ජීඑස්පී+ අධීක්ෂණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳව ද ක්‍රියාකාරී කණ්ඩායම යාවත්කාලීන කරන ලදී. ශ්‍රී ලංකාවේ ජීඑස්පී+ කැපවීම සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබන ලෙස යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව දිරිමත් කරන ලදී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපය, මධ්‍යම ආසියාව, යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරුණි මුතුකුමාරණ මහත්මිය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රධානී රෙන්සේ ටීරින්ක් මහත්මිය මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපතිත්වය හෙබවූ හ.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close