කැන්බරා හි මහ කොමසාරිස් කාර්යාලය සිය කුළුඳුල් ‘වෙස් මංගලෝත්සවය’ සඳහා සත්කාරකත්වය ලබා දෙයි

කැන්බරා හි මහ කොමසාරිස් කාර්යාලය සිය කුළුඳුල් ‘වෙස් මංගලෝත්සවය’ සඳහා සත්කාරකත්වය ලබා දෙයි

භාග්‍යා නර්තන පාසල (BDS) විසින් සංවිධානය කරන ලද කුළුඳුල් ‘වෙස් මංගලෝත්සවය’, කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සත්කාරකත්වය යටතේ 2022 ඔක්තෝබර් 15 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් පරිශ්‍රයේ දී පවත්වන ලදී.

උඩරට නර්තන ශිල්පියකු ලබන ඉහළම තත්ත්වය හිමි කරගැනීම සඳහා සුදුසුකම් ලැබූ BDS හි සිසුන් දස දෙනෙකු, කැන්බරා බෞද්ධ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයෙන් අනතුරුව, පූජනීය වෙස් ඇඳුමෙන් සැරසී, එදින සංවිධානය කොට තිබූ ‘වෙස් මංගල්‍යය’ තුළ කැපී පෙනෙන සමාරම්භක නර්තනාංග ඉදිරිපත් කළහ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික බෙර වාදකයෝ ඕස්ට්‍රේලියාවට පැමිණිය හ.

ශතවර්ෂ ගණනාවක් ඉපැරණි උඩරට නැටුම් සම්ප්‍රදායට ඇතුළත් මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානුවන් සහ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ.මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී (කම්කරු) ආචාර්ය මරීසා පැටර්සන් මැතිනිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවීන සංගීතවේදියකු වන ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ද ඇතුළත් විය.

බහු සංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජය තුළ ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සම්ප්‍රදාය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් BDS ආයතනය වෙත සිය ස්තූතිය පුද කළ  වැඩබලන මහ කොමසාරිස්වරිය, පළමු වරට පැවති මෙම ‘වෙස් මංගල්‍ය උත්සවය’ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර 75 ක් සපිරීමේ සංවත්සරයට සමගාමීව පැවති සඳහන් කළා ය.ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රියාත්මක කරන  මුලපිරීම් සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහය දක්වන බව පැවසූ එතුමිය, ‘උඩරට වෙස් නර්තන ශිල්පියා’ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන සංකේතයක් බව පෙන්වා දුන්නා ය.

 විවිධ වැඩසටහන් හරහා ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ප්‍රජා සංවිධාන දිරිමත් කිරීම සහ ඊට සහය දැක්වීම මහ කොමසාරිස් කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

2022 නොවැම්බර් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close