හයවන ශ්‍රී ලංකා - පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශන අන්තර්ජාලය ඔස්සේ පවත්වා අවසන් කෙරේ

හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශන අන්තර්ජාලය ඔස්සේ පවත්වා අවසන් කෙරේ

ශ්‍රී ලංකා - පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශනවල හය වැනි වටය අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ තානාපති සොහෙයිල් මහමුද් යන දෙරටේ විදේශ ලේකම්වරුන්ගේ සම සභාපතිත්වය යටතේ 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබීය. මෙලෙසින් මෙවර ශ්‍රී ලංකා - පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශන සඳහා කැඳවනු ලැබූයේ අවසන්වරට එය පවත්වා වසර තුනක් ඉකුත් වීමෙන් අනතුරුවය.

මෙම උපදේශන අතරතුර දී, දෙරට අතර ශක්තිමත් සහයෝගීතාව පිළිබිඹු කරන පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. ක්‍රියාත්මක කළ හැකි කාර්යය න්‍යාය පත්‍රයක් පිළිබඳව අවධාරණය කරමින්, වෙළඳ හා ආයෝජන, සංස්කෘතික සහ සංචාරක කටයුතු, ආරක්ෂක සහයෝගීතාව, කෘෂිකාර්මික හා සත්ත්ව පාලනය, අධ්‍යාපනය සහ තාක්ෂණික සහයෝගීතාව, ක්‍රීඩා හා මාධ්‍ය සහ ගුවන් සේවා යන අංශ මෙමඟින් ආවරණය කරන ලදී.

ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ විදේශ ප්‍රතිපත්තිය යන කුළුණු තුන මත පදනම්ව මධ්‍යස්ථභාවය සහ අසල්වැසි කේන්ද්‍රීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා අවධාරණය කළේය. වැඩි දියුණු කළ සහයෝගීතාවයන් තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට පාකිස්තානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ ලේකම් තානාපති මහමුද් මැතිතුමා සහතික විය.

2002 දී අත්සන් තබන ලද පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ (PTFTA) පූර්ණ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා පවතින බාධක විසඳීම සඳහා, දැනටමත් ස්ථාපිත අනුබද්ධ ද්විපාර්ශ්වික ගිවිසුම් පුනර්ජීවනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යනු, වෙනත් රටක් සමඟ පාකිස්තානයේ මෙවැනි පළමු ද්විපාර්ශ්වික වෙළඳ යාන්ත්‍රණය වූ බැවින්, විදේශ ලේකම් මහමුද් මැතිතුමා සිය ක්‍රියාකාරකම් ප්‍රාග්ධන හා ආයෝජන ක්ෂේත්‍ර වෙත ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියේ දී පාකිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් සිසුන් හට ලබා දුන් ඍජු සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාව ස්තූතිවන්ත විය. ණය රේඛා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන අතරම, අපේක්ෂිත ද්විපාර්ශ්වික විධිමත් ලේඛන ප්‍රමාදයකින් තොරව අවසන් කිරීම විදේශ ලේකම්වරු දෙදෙනාම අනුමත කළහ.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා සමඟ, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් උප අද්මිරාල් මොහාන් විජේවික්‍රම මැතිතුමා, කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ජී. එල්. ඥානතේවා මහතා, විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වාණිජ දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියෝජිතවරු මෙම අන්තර්ජාලය් ඔස්සේ පැවැත්වූ උපදේශන සඳහා සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 දෙසැම්බර් 17 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close