ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍යවරුන්ගේ මණ්ඩලය 2021-2023 කාල සීමාව සඳහා එහි උප සභාපති ධූරයට ශ්‍රී ලංකාව නම් කිරීම අනුමත කරයි

ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍යවරුන්ගේ මණ්ඩලය 2021-2023 කාල සීමාව සඳහා එහි උප සභාපති ධූරයට ශ්‍රී ලංකාව නම් කිරීම අනුමත කරයි

දෙසැම්බර් 17 වැනි අද දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සත්කාරකත්වය සපයන ලද අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ (CoM) 20 වැනි රැස්වීම අන්තර්ජාලය හරහා පැවති අතර, එහි උප සභාපති ධුරය සඳහා වන ශ්‍රී ලංකාවේ අයදුම්පත අනුමත කරනු ලැබීමෙන් පසු, ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව සියලුම සාමාජික රටවලට ස්තූතිය පුද කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලසීමාවේ දී එහි සභාපති ධුරය භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ (CoS) 22 වැනි සැසිවාරය අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ රැස්වීමට පූර්වයෙන් 2020 දෙසැම්බර් 15 සහ 16 යන දිනවල දී පැවැත්විණ. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දූත පිරිස මෙහෙයවන ලද්දේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසිනි.

සාමාජික රාජ්‍යයන් අමතමින්, ආර්ථික සමෘද්ධිය ඇති කළ හැක්කේ ආරක්ෂිත, සුරක්‍ෂිත හා සාමකාමී ඉන්දියන් සාගරයකට පමණක් බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන බවත්, ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම තුළින් මෙම අදහස ඉස්මතු වන බවත් විදේශ අමාත්‍යවරයා දන්වා සිටියේය. සියලුම සාමාජික රටවල සහ සංවාද හවුල්කරුවන්ගේ අඛණ්ඩ කැපවීම සහ සහයෝගී උත්සාහය පමණක්, මෙම එක්සත් ජාතීන්ගේ යෝජනාව සාක්ෂාත් කර ගැනීමට සහ එය තහවුරු කිරීමට උපකාරී වනු ඇතැයි එතුමා තවදුරටත් පැවසීය.

තව දුරටත්, ශ්‍රී ලංකාව සිය ධුර කාලය තුළ දී, හොඳම භාවිතයන් ඇතුළුව අත්දැකීම් සහ විශේෂඥතාව බෙදාහදා ගැනීම සඳහා සාමාජික රටවල් සමඟ තේමා 1 සහ 1.5  දැක්වෙන පරිදි අන්තර් ක්‍රියාකාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමට සහ ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ ප්‍රමුඛතාවය හා අවධානය යොමු කළ යුතු අංශ පිළිබඳව අන්තර් ක්‍රියා කිරීමට වේදිකාවක් ඇති වන පරිදි පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමක් එක්රැස් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එතුමා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, 2018 සිට ශ්‍රී ලංකාව සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ ක්‍රියාකාරී කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර, 2019 අගෝස්තු මාසයේ දී කොළඹ දී පැවති ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේ දී සම්මත කරගත් වැඩ සැලැස්ම හරහා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම තුළින් වැඩි සම්බන්ධතාවයක් ඇති බව සහතික කිරීම සඳහා සිය ප්‍රයත්න කැප කර ඇති බවයි.

ශ්‍රී ලංකාව විසින් 2021 දෙවන භාගයේ දී නිල් ආර්ථික සමුළුව පැවැත්වීමට අපේක්ෂිත වන අතර, ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයට අයත් කලාපය තුළ සමුද්‍රීය වෙළඳාම සඳහා පවතින බාධක ස්ථාන හඳුනා ගැනීම පිළිබඳ අධ්‍යයනයක් ද සිදු කරනු ඇත. ධීවර කළමනාකරණය පිළිබඳ ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමෙයේ පොකුරු සමූහයට (CGFM) සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ද පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ, ආපදා අවදානම් කළමනාකරණය (DRM), නිල් ආර්ථිකය (BE) සහ සංචාරක කටයුතු හා සංස්කෘතික හුවමාරු (TCE) පිළිබඳ පොකුරු කණ්ඩායම්වල සාමාජිකයෙකි.

අතිරේක ලේකම් පී. එම්. අම්සා මහතා, සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති දිසනායක මහත්මිය, වැඩබලන ආර්ථික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් (බහුපාර්ශ්වික) අන්සුල් ජාන් මහත්මිය සහ විදේශ අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී ඉනෝකා ධර්මදාස මහත්මිය යන නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා දූත පිරිස සමන්විත විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 දෙසැම්බර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close