ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෙහෙරානයේ දී ක්‍රීඩා සහයෝගිතා උත්සවයක් සංවිධානය කරයි

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෙහෙරානයේ දී ක්‍රීඩා සහයෝගිතා උත්සවයක් සංවිධානය කරයි

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාන ටෙනිස් සම්මේලනයේ සහයෝගය ද සහිතව, 2022 පෙබරවාරි 10 වැනි දින ටෙහෙරානයේ පිහිටි සිය චාන්සරි පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා-ඉරාන ක්‍රීඩා සහයෝගිතා වැඩසටහනක් සංවිධානය කළේ ය. 2022 පෙබරවාරි 13 සිට 26 යන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිත 2022 ලෝක කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ තේරීම් තරග සඳහා ඉරානයේ ජාතික කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරයට සමගාමීව මෙම වැඩසටහන පවත්වන ලදී. ඉරානයේ කැපී පෙනෙන ටෙනිස් ක්‍රීඩකයන්, ටෙනිස් සම්මේලනයේ ප්‍රධාන නිලධාරීන්, ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සහ කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයන් ඇතුළු 35 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. දෙරට අතර පවත්නා ක්‍රීඩා සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ පසුබිම පිළිබඳ තොරතුරු ඇතුළු අනෙකුත් තොරතුරු, ඉරානයේ ජාතික කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායම වෙත ලබාදීම මෙම උත්සවයේ අරමුණු විය.

ආරම්භක දේශනය සිදු කළ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපෝන්සු මැතිතුමා, උත්සවයට සපැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවත්නා සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් වශයෙන් ක්‍රීඩාව හඳුනාගෙන ඇති  බව අවධාරණය කළේ ය. කටාර් හි පැවති FIFA ලෝක කුසලානය-2022 තරඟාවලිය තුළ හිමි කරගත් ස්ථානය ඇතුළුව, මෑතකාලීනව ඉරානය ලැබූ ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳව ඉස්මතු කළ තානාපතිවරයා, ක්‍රීඩා සහයෝගිතාව සහ අනෙකුත් අනාගත අපේක්ෂාවන් ශක්තිමත් කිරීම සඳහා දෙරට සතුව පුළුල් හැකියාවක් පවතින බව අවධාරණය කළේ ය. තවද, විශේෂයෙන්ම  ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල්, මල්ලවපොර සහ සටන් කලාව සම්බන්ධයෙන් දෙරට අතර දැනුම, අත්දැකීම්, ශිල්පීය ක්‍රම සහ ප්‍රවීණත්වය හුවමාරු කර ගත හැකි බවද එතුමා අවධාරණය කළේ ය.

දෙරට අතර ටෙනිස් ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පවත්නා සහයෝගිතාව පුළුල් කිරීමේ ක්‍රම සහ විධි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඉරාන ටෙනිස් සම්මේලනය විසින් මෙම ක්‍රීඩා සහයෝගීතා වැඩසටහනේ අන්තර් ක්‍රියාකාරී සැසිය අතරතුරදී ගවේෂණය කරන ලදී. වත්මන් ප්‍රමිතීන්, අවශ්‍යතා, අභියෝග සහ අවස්ථා, පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් හුවමාරු කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. තානාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දැක්වූ ඉරාන ටෙනිස් සම්මේලනය, ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය ළඟා කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ ඉරාන ටෙනිස් සම්මේලනය අතර ඒකාබද්ධ සහයෝගිතාව සඳහා යෝජනාවක් යොමු කරන බවට සහතික විය.

මෙහිදී සිය අදහස් කෙටියෙන් පළ කළ ඉරාන ටෙනිස් සම්මේලනයේ සභාපති ආචාර්ය ඩවූඩ් අසීසි මහතා, ජාතික මට්ටමේ කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ද සහිතව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ ක්‍රීඩා සහයෝගිතා වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව සිය අවංක ස්තුතිය සහ කෘතඥතාව පළ කළේ ය. ශ්‍රී ලංකා-ඉරාන ටෙනිස් අංශයේ සහයෝගිතාව පුළුල් කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ ඉරාන ටෙනිස් සම්මේලනයේ සභාපතිවරයා, ඉරාන කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා වීසා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ලබා දුන් සහය වෙනුවෙන් තානාපති කාර්යාලය වෙත සිය ස්තුතිය පළ කළේ ය.

තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉහළ පෙළේ තේ පැන් සංග්‍රහයක් සහභාගී වූ පිරිස වෙත පිරිනමන ලදී. සියලුම අමුත්තන් සඳහා ලංකා තේ පැකැට්ටු සහ තිළිණ ප්‍රදානය කරන ලදී. “ඉන්දියානු සාගරයේ මුතු ඇටය” නමින් වාර්තා චිත්‍රපටයක් ද, මෙම උත්සවය අතරතුරදී ප්‍රදර්ශනය කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2022 පෙබරවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close