“ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ කලාව උද්‍යෝගිමත් ඉවුම් පිහුම් වික්‍රමයකි” බ්‍රසල්ස් හි තානාපති ආසිර්වාදම් මැතිණිය ප්‍රකාශ කරයි

“ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ කලාව උද්‍යෝගිමත් ඉවුම් පිහුම් වික්‍රමයකි” බ්‍රසල්ස් හි තානාපති ආසිර්වාදම් මැතිණිය ප්‍රකාශ කරයි

ලොව පුරා රටවල් 60කට අධික ප්‍රමාණයකට අයත් ආහාරපාන වට්ටෝරු 200ක් අඩංගු වූ “Lockdown Journeys” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී දේශනයක් පැවැත්වීම සඳහා බෙල්ජියමේ, යුරෝපා සංගමයේ සහ ලක්සම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපති ග්‍රේස්  ආසිර්වාදම්   මැතිණියට ආරාධනා ලැබිණි. බ්‍රසල්ස් හි කලා සහ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකු වන ආචාර්ය පික් කියෝබන්දිත් මහතා විසින් රචිත මෙම ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ පොල් සම්බෝල වට්ටෝරුව සහ සිලෝන් තේ පානය ද ඇතුළත් විය. 2021 දෙසැම්බර් 02 වන දින බ්‍රසල්ස් හි පිහිටි රුසියානු හවුස් ශ්‍රවණාගාරයේදී මෙම ග්‍රන්ථ එළිදැක්වීම පැවැත්වුණු අතර රටවල් කිහිපයක වෙසෙන බෙල්ජියම් ජාතිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ඊට සහභාගී වූහ.

විවිධ රටවල ආහාරපාන වට්ටෝරු ගණනාවක් පිළිබඳව සාර්ථක ලෙස සම්පාදනය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තානාපති ආසිර්වාදම් මැතිණිය කතුවරයා වෙත සුබ පැතුම් පල කළ අතර ප්‍රධාන වශයෙන් පොල් සහ කුළුබඩු මත පදනම් වූ සහ සංචාරකයින් විසින් බොහෝ සෙයින්  අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය ආහාරවල සුවිශේෂීත්වය පිළිබඳව පැහැදිලි කළාය. ශ්‍රී ලංකාවේ කුළුබඩුවල සුවිශේෂීත්වය හේතුවෙන් මෙම කුළුබඩු අඩංගු රසවත් ආහාර, රසය, සුවඳ සහ ඖෂධීය ගුණයන්ගෙන් අනූන බව ද තානාපතිවරිය ප්‍රකාශ කළාය.

‘ලොව හොඳ ම තේ වන සිලෝන් තේ’ යන මාතෘකාවේදී තානාපතිවරිය විසින් අසමසම රසය, සුවඳ සහ විශිෂ්ට ගුණාත්මක බව සඳහා සිලෝන් තේ ප්‍රසිද්ධියක් උසුලන බව පැහැදිලි කරනු ලැබූ අතර  මෙම සිලෝන් තේ පානය ශ්‍රී ලංකාවේ අනර්ඝ සංස්කෘතිය, උරුමය සහ අනන්‍යතාවය පිළිබඳ කතාවක් ගෙනහැර දක්වන බව පැවසීය.

ශ්‍රී ලංකාව සිය මීළඟ නිවාඩු ගමනාන්තය ලෙස තෝරා ගන්නා ලෙසත් ශ්‍රී ලාංකීය යැයි පමණක් අර්ථ දැක්විය හැකි එකක් පමණක් නොව අව්‍යාජයෙන් මිශ්‍ර වී ඇති විවිධ සංස්කෘතීන් හතරක ආහාරපානවල රස අත්විඳීමටත් තානාපති ආසිර්වාදම් මැතිණිය ප්‍රේක්ෂකයන් හට නිර්දේශ කළාය. ශ්‍රී ලාංකේය ආහාරවල අසීමිත විවිධ රසයන් සහ සංයෝගයන් පිළිබඳ ඉස්මතු කළ තානාපති ආසිර්වාදම් මැතිණිය ශ්‍රී ලාංකීය ආහාර පිසීම උද්යෝගිමත් ඉවුම් පිහුම් වික්‍රමයක් බව පැවසීය.

“Hello Again” නම් වූ හෑෂ් ටැග් සලකුණ යටතේ ශ්‍රී ලංකාව නැවත ලෝක සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කිරීම පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට ද තානාපතිවරිය මෙම උත්සවය අවස්ථාවක් කර ගත් අතර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සමස්ත අංග පිළිබඳව ද උද්යෝගිමත්  සභාවට ඉදිරිපත් කළාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 දෙසැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close