ශ්‍රී ලංකා නම්කළ තානාපතිවරයා ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා නම්කළ තානාපතිවරයා ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉරානයේ ශ්‍රී ලංකා නම්කළ තානාපති ජී.එම්.වී. විශ්නාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 01 වෙනි බදාදා ටෙහෙරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉරාන ඉස්ලාමීය ජනරජයේ නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මැතිතුමා හමුවිය.

මෙම හමුව අතරතුර දී විදේශ කටයුතු අමාත්‍යවරයා නම්කළ තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, ඉරානයේ ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එතුමාගේ නව පත්වීම සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කළේය. එතුමා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය අගය කළ අතර, ජාතීන් දෙකේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය පිණිස මෙම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉරාන නව රජයේ පවතින උනන්දුව ප්‍රකාශ කළේය.

නම්කළ තානාපති අපොන්සු මැතිතුමා අතිගරු ජනාධිපති අයතුල්ලා සෙයිඩ් ඊබ්‍රාහිම් රයිසි මැතිතුමා සහ ඉරානයේ මිත්‍රශීලී ජනතාව වෙත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උණුසුම් සුභ පැතුම් හා ආචාරය පිරිනැමීය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින සමීප හා මිත්‍රශීලී සබඳතා පිළිබඳව සඳහන් කරමින්, නම්කළ තානාපති අපොන්සු මැතිතුමා ගරු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් එවන ලද සුබපැතුම් පණිවිඩයේ පිටපතක් නව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත භාර දුන්නේය.

අතීතයේ දී බලශක්ති, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු බොහෝ අංශ සඳහා ඉරාන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සංවර්ධන ආධාර නම්කළ තානාපතිවරයා අගය කළේය. දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවට එතුමා ඉරාන විදේශ අමාත්‍යවරයාට සහතික විය.

මෙම හමුව සඳහා බටහිර ආසියාව පිළිබඳ සහකාර අමාත්‍ය ආචාර්ය සෙයිද් රසූල් මුසාවි මැතිතුමා, අධ්‍යක්ෂ ජනරාල් (සන්ධාන) මෙහදි හොනාර්ඩූස්ට් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2021 සැප්තැම්බර් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close