ශ්‍රී ලංකා තානාපතිනිය තායිලන්තය මෙරටට පිරිනැමූ පරිත්‍යාගය එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හරහා සංකේතාත්මකව භාරගනී

ශ්‍රී ලංකා තානාපතිනිය තායිලන්තය මෙරටට පිරිනැමූ පරිත්‍යාගය එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හරහා සංකේතාත්මකව භාරගනී

රාජකීය තායි රජය විසින් ශ්‍රී ලංකාව සඳහා දෙවැනි වරට පරිත්‍යාගයක් ලබා දීම සඳහා 2022 නොවැම්බර් 01 වැනි දින තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැත්වූ උත්සවයක් අතරතුර, තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා විසින් තායි බාත් 14,000,000 ක (ශ්‍රී.ලං.රු 135,398,986) වටිනාකමින් යුත් මුදල් පරිත්‍යාගයක් UNESCAP හි නිත්‍ය නියෝජිත සහ ශ්‍රී ලංකා තානාපති සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වෙත සංකේතාත්මකව භාර දෙන ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත. තායි රතු කුරුස සමාජය පිරිනැමූ තායි බාත් 1,000,000 වටිනාකමින් යුත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම්, තායි වාණිජ මණ්ඩලය පිරිනැමූ තායි බාත් 1,071, 300 ක මුදල, රීජනල් කන්ටේනර් ලයින් පබ්ලික් කම්පනි ලිමිටඩ් ආයතනය පිරිනැමූ තායි බාත් 748,376 ක වටිනාකමින් යුත් භාණ්ඩ ප්‍රවාහන බහාලුම් එකොළහක්, තායි බාත් 436,120 ක වටිනාකමින් යුත් සීනි ටොන් 16 ක්, තායි බෙවරේජ් පබ්ලික් කම්පනි ආයතනය පිරිනැමූ බ්ලැන්කට්ටු 1000 ක්, IX වැනි රාමා ගෝල්ඩන් විහාරය පිරිනැමූ තායි බාත් 3,724,800 ක වටිනාකමින් යුත් සහල් ටොන් 120 ක්, චක් ඩැංග් විහාරය පිරිනැමූ තායි බාත් 1,400,000 ක වටිනාකමින් යුත් සහල් ටොන් 96 සහ සිරි ගුරු සිං සභාව පිරිනැමූ තායි බාත් 500,000 ක වටිනාකමින් යුත් සහල් ටොන් 24 මෙලෙස ලද අනෙකුත් පරිත්‍යාගවලට ඇතුළත් වේ.

වසර 67 කට පෙර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස ස්ථාපිත කිරීමට බොහෝ කලකට පෙර පටන් පොදු වටිනාකම් සහ සංස්කෘතික බැඳීම්වලින් දෙරට බැඳී පැවති බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය. මෙම ශක්තිමත් බැඳීම් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහ විශේෂයෙන්ම වෙළෙඳ හා ආයෝජන, තාක්ෂණික සහයෝගීතාව සහ පුද්ගලාන්තර සම්බන්ධතා යනාදිය සම්බන්ධයෙන් සමීප සහයෝගීතාවක් සහ හවුල්කාරිත්වයක් අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමත්ව ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය. මෙම අංශ සියල්ලම මෑත දශක කිහිපය තුළ සැලකිය යුතු ලෙස සමෘද්ධිමත් වී ඇත. තායිලන්ත රජය වෙනුවෙන් සිය අදහස් පළ කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලාංකීය ජනතාවගේ බලවත් අධිෂ්ඨානය ශ්‍රී ලංකාව නිවැරදි මාවතකට ගෙන යනු ඇතැයි සඳහන් කළේ ය. මෙම දුෂ්කර කාලය තුළ අසීරු අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වීමට තායිලන්තය කැපවී සිටින බවද එතුමා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ආර්ථිකය මධ්‍යම කාලීනව ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව තානාපති කොළොන්නේ මැතිනිය අවධාරණය කළා ය. තීරුබදු අඩු කිරීම, කෝටා ලබා දීම/වැඩි කිරීම හෝ විශේෂ ප්‍රසම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ විශේෂිත කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වරණීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම හරහා ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ගෙන ඒමට කලාපීය රටවලට සිය සහය ලබා දිය හැකි බවද එතුමිය ප්‍රකාශ කළා ය. තවද වැඩිදුර අදහස් පළ කළ තානාපතිනිය, තායි බෞද්ධ විහාරස්ථාන, පෞද්ගලික සහ වෙනත් ආයතනවල සහය ඇතිව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ත්‍යාගශීලී පරිත්‍යාග කිහිපයක් සිදු කිරීම පිළිබඳව තායිලන්තයේ රජු වන මහා වජිරලොංකෝන් ෆ්‍රා වජිරක්ලාඕචාඕයුහුවා මැතිතුමා, අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා, තායිලන්ත රජය, තායිලන්ත ජනතාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය ප්‍රශංසාව පළ කළා ය.

මීට පෙර, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විජවට් ඉසාරබකඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෑතකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මෙවැනි ආකාරයේ සංකේතාත්මක භාරදීමේ උත්සවයක් අතරතුර, තායිලන්ත පාර්ලිමේන්තුව විසින් තායි බාත් මිලියන 1.3 ක (ශ්‍රී.ලං.රු. 12,571,927.28) වටිනාකමින් යුත් වෛද්‍ය සැපයුම් සහ තායි බාත් 700,000 ක මූල්‍ය ආධාර තානාපතිනය වෙත සංකේතාත්මකව භාර දෙන ලදී. මීට අමතතරව, රෝග පාලන දෙපාර්තමේන්තුව, මහජන සෞඛ්‍ය අමාත්‍යංශය, රජයේ ඖෂධ සංවිධානය, තායි රතු කුරුස සමාජය, රාජකීය අනුග්‍රහය යටතේ වන සොම්ඩට් ෆ්‍රා ඥානසාම්වර සොම්ඩට් ෆ්‍රා සංඝරාජ වට් බවොරනිවෙස් විහාර පදනම සහ වට් ෆ්‍රා රාම් 9 කාර්න්චනාපිසෙක් යන ආයතන පිරිනැමූ තායි බාත් මිලියන 5 කට (ශ්‍රී.ලං.රු. 48,308,003.65) අධික වටිනාකමින් යුත් පරිත්‍යාග ද ඊට ඇතුළත්වේ.

තායි ජනතාව දක්වන දයාව, ශුභවාදී බව සහ ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට ධනාත්මක බලපෑමක් එල්ල කිරීම සම්බන්ධයෙන් දක්වන හිතෛශී බව පිළිබඳව තානාපතිනිය සිය කෘතඥතාව පළ කළා ය. මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාව තුළ දේශීය වශයෙන් බෙදා හැරීමට සහය වීම පිළිබඳව කොළඹ තායිලන්ත තානාපති පොජ් හාර්න්පෝල් මැතිතුමා වෙත එතුමිය සිය කෘතඥතාව පළ කළා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 නොවැම්බර් 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close