ශ්‍රී ලංකාව හා ඕමානය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශ ප්‍රවර්ධනයට මුල් තැන දීමට එකඟ වේ

ශ්‍රී ලංකාව හා ඕමානය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශ ප්‍රවර්ධනයට මුල් තැන දීමට එකඟ වේ

ශ්‍රී ලංකාව සහ ඕමානය තම ජාතික ප්‍රතිපත්ති රාමුවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ප්‍රධාන ප්‍රමුඛතාවය ලෙස හඳුනාගනී. ඒ අනුව , දෙරටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සැකසුම් කළමනාකරණ සමාගම්වලට සහයෝගීතාව සඳහා සහසම්බන්ධතා වැඩි දියුණු කළ ඕමානයේ ශ්‍රි ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පෙන්වා දුන්නේය. මේ සඳහා තානාපති කාර්යාලය නුදුරු අනාගතයේ දී දෙරටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සැකසුම් කළමනාකරණ සමාගම් අතර අන්තර් ව්‍යාපාර වෙබ්නාර් රැස්වීම් සංවිධානය කරනු ලබන බව ද තානාපතිවරයා දන්වා සිටියේය. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව, ශ්‍රී ලාංකික හා ඕමාන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සැකසුම් කළමනාකරණ අංශයේ නියුතු සමාගම් සම්බන්ධ කිරීමේ අරමුණින් යුතුව නොලේජ් ඔයේසිස් මස්කට් (KOM) ආයතනය සමඟ සහයෝගයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ ව්‍යාපාර සැකසුම් කළමනාකරණ අංශය පිළිබඳ හඳුන්වාදීමේ වෙබිනාර් රැස්වීමකදී තානාපතිතුමා මෙම කරුණු අනාවරණය කෙළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මහත්මිය මෙම වෙබිනාර් රැස්වීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් අදහස් දක්වන ලදී. එහි දී තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා පැවසුවේ, අභියෝග ජය ගැනීම සහ නව යථාර්ථයට ප්‍රතිචාර දැක්වීම යන දෙකෙහිම වැදගත්ම මාධ්‍යය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (ICT) අද ඉස්මතු වී ඇති බවයි. කොවිඩ්-19 වසංගතය පිළිබඳ අර්බුදය විසින් මෙම අංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ප්‍රේරණය කොට තිබේ.

මෙම මුලපිරීම සාදරයෙන් පිළිගනිමින්, නොලේජ් ඔයේසිස් මස්කට් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ සයිෆ් හම්දාන් ඒ.එල්. රියාමි මහතා, අනාගත කේන්ද්‍රීය දේශීය, කලාපීය සහ ගෝලීය සමාගම්, ආයතන සහ සංවිධාන 190 කට අධික සංඛ්‍යාවක් සත්කාරකත්වය ලබා දෙන ඕමානයේ පළමු හා වඩාත්ම සාර්ථක තාක්‍ෂණ උද්‍යානය වන, මැඩයින් හි නොලේජ් ඔයේසිස් මස්කට් හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සැකසුම් කළමනාකරණ කර්මාන්තය පිළිබඳ කෙටි විස්තරයක් ලබා දුන්නේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා සහකාර අධ්‍යක්ෂ වජිරා කුලරත්න මහත්මිය ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ ව්‍යාපාර සැකසුම් කළමනාකරණ කර්මාන්තය හඳුන්වා දුන් අතර, ඉන් අනතුරුව කර්මාන්තය පිළිබඳ විශේෂඥයින්ගේ ඉදිරිපත් කිරීම් ද පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සැකසුම් කළමනාකරණ/දැනුම සැකසුම් කළමනාකරණ අංශයේ අවස්ථා ස්ලැස්කොම් (SLASSCOM) ආයතනයේ අධ්‍යක්ෂ ශිරාස් ලයි මහතා විසින් හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින අවස්ථා පිළිබඳව හඳුන්වා දුන්නේ ෆිටිස් (FITIS) ආයතනයේ අධ්‍යක්ෂ තීක්ෂණ කුමාර මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ ව්‍යාපාර සැකසුම් කළමනාකරණ සමාගම්, එනම් TIQRI කෝපරේෂන්, මෙටාටෙක්නෝ ලංකා (පුද්ගලික) සමාගම, ඉනෙක්සිස් කන්සල්ටින් (පුද්ගලික) සමාගම, ඉන්ෆෝමේට් ප්‍රයිවට් ලිමිටඩ්, සිලියන් බිස්නස් සොලූෂන්ස් පුද්ගලික සමාගම, මාස්ටර් මයින්ඩ්ස් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම, ඇරිමාක් ලංකා පුද්ගලික සමාගම, ඩිසයින් බොක්ස් (පුද්ගලික) සමාගම, ඊආර්පී ලංකා (පුද්ගලික) සමාගම, වෙබිනාර් රැස්වීම අතරතුරදී ඔවුන්ගේ සමාගම් පැතිකඩ පිළිබඳ ඉදිරිපත් කළහ.

වෙබ්නාර් රැස්වීම අවසන් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳපොළ සංවර්ධන අධ්‍යක්ෂ අනෝමා ප්‍රේමතිලක මහත්මිය සහභාගී වූ සියලු දෙනාටම සිය ප්‍රශංසාව පිරිනැමුවාය. අපනයන සංවර්ධන මණ්ඩලයේවෙළඳපොළ සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයසිංහ මහතා සහ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්. ඩී. එන්. එම්. අබේසේකර මහත්මිය ද මෙම වෙබිනාර් රැස්වීමට සහභාගී වූහ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ රවින්දි රණරාජා මහත්මිය මෙම රැස්වීම මෙහෙයවූවාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2021 මාර්තු 09 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close