ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය දෙරට අතර සබඳතා පුළුල් කිරීමට කැප වෙයි.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය දෙරට අතර සබඳතා පුළුල් කිරීමට කැප වෙයි.

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු ෆෙඩරල් දෙපාර්තමේන්තුවේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී තානාපති හෙන්රිච් ෂෙලන්බර්ග් මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්/ ද්විපාර්ශ්වික කටයුතු (බටහිර) යසෝජා ගුණසේකර මහත්මියගේ සම සභාපතිත්වයෙන් යුතුව ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික උපදේශනයන්හි සිව්වන වටය 2024 අප්‍රේල් 5 වැනි දින කොළඹදී පැවැත්විණි.

එහිදී ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව නියෝජිත පිරිස සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තවදුරටත් හැකියාව පවතින වෙළෙඳපල හඳුනා ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයට ස්විට්සර්ලන්තය ලබා දුන් සහාය ශ්‍රී ලංකාව අගය කළ අතර රෙදිපිළි කර්මාන්තය තුළ ඇති කරගත හැකි සහයෝගීතාව සම්බන්ධයෙන් යෝජනා කළේය. වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීමට සහ සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි විභවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමටත් දෙරට එකඟ විය.

ශ්‍රම සංක්‍රමණ ක්ෂේත්‍රයට ස්විට්සර්ලන්තය විසින් ලබා දුන් දිගුකාලීන සහයෝගය ශ්‍රී ලංකාව අගය කළේය. ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණය සහතික කිරීම සඳහා මෙම සහයෝගීතාවේ ධනාත්මක බලපෑම දෙපාර්ශවයම විසින් පිළිගන්නා ලදී.

අධ්‍යාපනය, පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ සහයෝගිතාව, විශේෂයෙන් ඒකාබද්ධ පර්යේෂණ සහ විශ්වවිද්‍යාල අතර සම්බන්ධතාව සඳහා ක්‍රම ගවේෂණය කිරීම ද මෙම රැස්වීමේදී සලකා බලන ලදී. පරිසරය, දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති අවස්ථා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.‍

2026 වසරේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවර දේශපාලන උපදේශනවල පස්වන සැසිවාරය පැවැත්වීමට එකඟතාව පළ විය. 2016 දී අත්සන් කරන ලද විදේශ කාර්යාල උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 අප්‍රේල් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close