ශ්‍රී ලංකාව සහ චීනය දෙරට අතර පවත්නා විශිෂ්ඨ මිත්‍ර බැඳීම් යළි තහවුරු කරයි

ශ්‍රී ලංකාව සහ චීනය දෙරට අතර පවත්නා විශිෂ්ඨ මිත්‍ර බැඳීම් යළි තහවුරු කරයි

මහජන චීන ජනරජයේ මන්ත්‍රණ සභික සහ විදේශ කටයුතු අමාත්‍ය වොංග් යි මැතිතුමා සමඟ 2022 ජනවාරි 9 වැනි දින අරලියගහ මන්දිරයේ දී පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා උණුසුම් සහ විශිෂ්ඨ සබඳතාව මෙන්ම බහුවිධ හවුල්කාරිත්වයේ ස්වභාවය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිය ආරම්භක දේශනය මගින් අවධාරණය කළේ ය.

ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් සපිරීම සනිටුහන් කිරීම සඳහා වන සැමරුම් උළෙල ආරම්භ කිරීම සඳහා විදේශ අමාත්‍ය වොංග් යි මැතිතුමා කෙටි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම චීනය සිය උපරිම සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දුන් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. මෙවැනි පසුබිමක් තුළ, එන්නත් මාත්‍රා මිලියන 3ක් පරිත්‍යාග කිරීම ඇතුළුව, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා චීනය සිය කැමැත්තෙන් පිරිනැමූ ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා විදේශ අමාත්‍ය වොංග් යි මැතිතුමා වෙත සිය අවංක ස්තුතිය සහ ගැඹුරු ප්‍රශංසාව පළ කළේ ය. එපමණක් නොව, රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවක් සිදු කිරීම සඳහා පහසුකම් සලසමින් චීනය ලබා දුන්  කාලෝචිත  සහය රටේ මුදල් සංචිත ඉහළ නැංවීමට ඉවහල් වී ඇත. මෙමගින් දෙරට අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇත.

වර්තමානයේ දී ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන සඳහා තවදුරටත් සහය ලබා දීම, කොළඹ වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට චීනයෙන් ආයෝජන ගෙන්වා ගැනීම, චීනයෙන් ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීම සහ සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන්ම දෙරට අතර බුදු දහම සම්බන්ධයෙන් පවත්නා සබදතා වර්ධනය කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන අනෙකුත් කරුණු ද මෙම ද්විපාර්ශ්වික හමුවේ දී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

චීනයේ මන්ත්‍රණ සභික සහ විදේශ අමාත්‍ය වොංග් යි මැතිතුමා සිය ශ්‍රී ලාංකික මිත්‍ර පාර්ශ්වය පළ කළ අදහස්වලට  උණුසුම් ලෙස ප්‍රතිචාර දැක්වූ අතර, චීනය ශ්‍රී ලංකාව අචල බැඳීමක් සහිත මිතුරෙකු ලෙස සලකන බවද සඳහන් කළේ ය. තවද, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම නිමිත්තෙන් පසුගිය වසරේ විශේෂ සමරු කාසියක් නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව වෙත සිය ස්තුතිය පළ කළේ ය. 1952 වර්ෂයේ දී අත්සන් තබන ලද රබර්-සහල් ගිවිසුම දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් වශයෙන් එතුමා අගය කළේ ය. වසර ගණනාවක් පුරා විවිධ ජාත්‍යන්තර සංසදවල දී රටවල් දෙකම එකිනෙකාට ලබා දුන් ශක්තිමත් සහ ස්ථාවර සහයෝගය ද එතුමා අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාවලින් අනතුරුව දෙරටෙ හි දූත පිරිස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරියේ පහත සඳහන් ගිවිසුම්වලට අත්සන් තැබූහ.

  • ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
  • කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා වන සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය
  • බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය
  • වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ සඳහා වන තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාර දීමේ සහතිකය

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වාණිජ නියෝජ්‍ය අමාත්‍ය කියැංග් කෙමින්ග් මැතිතුමා, සහකාර විදේශ අමාත්‍ය තානාපති වූ ජියැංග්ෂාඕ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති  කි ෂෙන්හොංග් මැතිතුමා යනාදීහු  පිළිවෙලින් ශ්‍රී ලංකාවේ සහ චීනයේ නියෝජිත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close