ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය අරඹයි

ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය අරඹයි

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උපඅමාත්‍ය සුන් වෙයිඩොන්ග් මැතිතුමා 2023 මැයි 29- ජූනි 01 යන දිනවල මෙරට පැවැත්වෙන, දෙරටේ 12 වැනි රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටය සඳහා සහභාගී වන එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ දූත පිරිසකට නායකත්වය දෙයි. තවද එතුමා, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ එක්ව මෙම උදේශන වටයේ සමසභාපතිත්වය දරනු ඇත.

දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම තේමාත්මක සහයෝගීතාව සහ පුද්ගලාන්තර සබඳතා ආවරණය වන පරිදි දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය මෙම සාකච්ඡා ඔස්සේ තක්සේරු කරගැනීමට දෙරටට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනයේ විදේශ කටයුතු උපඅමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා හමුවීමට නියමිත ය. තවද, චීන දූත පිරිස ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හමුවීමට මෙන්ම, දෙවනගල පිහිටි ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව ගම්මානය නැරඹීමට ද නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 29 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close