ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය පා.ම. එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා කොළඹ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමේ දී සිදු කළ පිළිගැනීමේ කථාව

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය පා.ම. එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා කොළඹ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමේ දී සිදු කළ පිළිගැනීමේ කථාව

ගරු ආරාධිතයිනි, ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, දූත මණ්ඩලවල ප්‍රධානීවරුනි, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, මිත්‍රවරුනි, නෝනාවරුනි සහ මහත්වරුනි,

ආයුබෝවන්! සුබ උදෑසනක්!

අපගේ සංවිධානය එකට බැඳ තබන ජීවනාලිය වන සහ අපගේ සුවිශේෂී අනන්‍යතාවයන් නිර්වචනය කරන තේජාන්විත ඉන්දියන් සාගරයට මුහුණලා, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වන රැස්වීමේ සමාරම්භක සැසිවාරයට ඔබ සැම සාදරයෙන් පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් මා විශේෂාකාරයෙන් සතුටට පත්වන්නෙමි.

අභියෝගාත්මක වසර කිහිපයකට පසුව, ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම සැබැවින්ම දිරිගන්වනසුළු දසුනකි. අපගේ කලාපයේ සහ ඉන් එපිට සිටින අපගේ මිතුරන් ලබා දුන් නොසැලෙන සහයෝගය මෙන්ම, අපගේ ජනතාව විදහා දැක්වූ ඔරොත්තු දීමේ හැකියාව පසුගිය මාස 12 ත් 18 ත් දක්වා කාලය තුළ අප ලැබූ ප්‍රගතිය සහ ප්‍රකෘතිමත්භාවය සාක්ෂාත් කරගැනීමෙහිලා බොහෝ සෙයින් දායක විය.

ශ්‍රී ලංකාව මෙම සැසිය පවත්වන්නේ මෙම ස්ප්‍රීතුව සහ උද්‍යෝගය පෙරදැරිව ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සභාපතිවරයා ලෙස බංග්ලාදේශය ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ ඉටු කළ කැපී පෙනෙන කාර්යයන් වෙනුවෙන් අපගේ ගැඹුරු කෘතඥතාව සහ ප්‍රශංසාව පළ කිරීමට කැමැත්තෙමි. කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසුව පනවන ලද සීමා මධ්‍යයේ, එනම් වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ බංග්ලාදේශය මෙම තනතුර දැරී ය.

ගරු ආරාධිත අමුත්තනි, මහත්වරුනි, මහත්මියනි,

ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කටයුතුවලදී වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.අප,  නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීමට මග පෑදූ බැන්ඩුන්ග් සමුළුවේ කොටස්කරුවෝ වූයෙමු. 1976 දී අප ඊට නායකත්වය ලබා දුන්නෙමු. මේ අනුව, අපගේ විදේශ ප්‍රතිපත්තිය සාමය, ස්ථාවරත්වය, විවිධත්වය සහ අන්තර්ග්‍රහණය යන අංශ ඔස්සේ කලාපය සහ ඉන් ඔබ්බට කේන්ද්‍රගත වී ඇත.

1971 දී ඉන්දියානු සාගර කලාපය සහ එහි ගුවන් කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඓතිහාසික යෝජනාව සම්මත කර ගැනීමට මූලික වූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර වේදිකාව හමුවේ නොමැකෙන සලකුණක් සනිටුහන් කළේ ය. දේශපාලන සීමාවන් සහ මතවාද ඉක්මවා යන සහයෝගීතාව, අවබෝධය සහ සන්සුන්භාවය සංකේතවත් වන කලාපයක් බවට සුවිසල් ඉන්දියානු සාගරය පරිවර්තනය කිරීම මෙම යෝජනාවේ අරමුණ විය. සාමය, එකමුතුකම සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා අප සතු අප්‍රතිහත කැපවීම මෙතුළින් පිළිබිඹු වන බැවින්, ආපසු ඒ දෙස හැරී බලන අපි මෙම උදාර උත්සාහය දෙස ඉමහත් ආඩම්බරයෙන් පසු වන්නෙමු. විවිධ අභියෝග විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට සහය වන මාධ්‍යයක් වන බහුපාර්ශ්විකත්වය සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය කෙරෙහි අප දැඩි විශ්වාසයෙන් පසු වන්නෙමු.

ගරු ආරාධිත අමුත්තනි, මහත්වරුනි, මහත්මියනි,

මෙම ඓතිහාසික පසුබිම තුළ, ඉන්දියානු සාගරයට මායිම්ව පිහිටි වෙරළබඩ ජාතීන් එකට එක් කරමින් කලාපීය සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස 1997 දී සම්බන්ධ වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ආඩම්බරයෙන් පසුවේ.

එතැන් සිට, අපගේ සංවිධානය ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් වර්ධනය වූ අතර, මේ වන විට සාමාජික රටවල් 23 ක් සහ විවිධ අවශ්‍යතා සහ ලක්ෂණ සහිත සංවාද හවුල්කරුවන් 11 ක් එය සතු ය.

අපගේ සංගමයේ ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි, එහි මූලික අරමුණු වන්නේ ඉන්දියානු සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යි. අපගේ දර්ශනීය ඉන්දියන් සාගරය ආශ්‍රිත විවිධ වූ අභියෝග සහ ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම සංගමය හරහා අපට සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇත.

මේ අනුව, සත්කාරක රටවන අප, කලාපීය සහ ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සහ ඊට පහසුකම් සැලසීම සඳහා අපගේ සංගමයට නායකත්වය දීමට කැමැත්තෙන් පසු වන්නෙමු.

අද මෙසේ රැස්වන අප, අනාගත අභියෝග සහ අවස්ථාවන් හඳුනාගැනීම ඉතා වැදගත් වේ. අපගේ කලාපය විවිධ සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා අපගේ සාමූහික උත්සාහයන් අවශ්‍ය වන අතර, අපගේ කලාපයට, ඉන්දියන් සාගරයට සහ අපගේ උරුමයට විශේෂිත වූ නව්‍ය සහ අන්තර්ග්‍රහණීය විසඳුම් සොයාගැනීම සඳහා වන දැඩි කැපවීමක් අවශ්‍ය වේ. “කලාපීය ව්‍යුහාත්මක සැකැස්ම ශක්තිමත් කිරීම: ඉන්දියානු සාගරයේ අනන්‍යතාවය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ අපගේ සංගමය පවත්වන සාකච්ඡාවලදී විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව මෙම අභියෝග සාකච්ඡා කෙරේ.

ගරු ආරාධිත අමුත්තනි, මහත්වරුනි, මහත්මියනි,

එකමුතු බවින් කටයුතු කිරීම ඔස්සේ: ආයෝජන ප්‍රවර්ධනය, සමුද්‍රීය ආරක්‍ෂාව සහ සුරක්ෂිතතාව, වෙළඳ සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය, සංචාරක හා සංස්කෘතික හුවමාරු, අධ්‍යයන කටයුතු, විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාව, නීල ආර්ථිකය සහ කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවලට අදාළ සහයෝගීතාව වර්ධනය කර ගත හැකි බව අපි විශ්වාස කරමු. එවිට, අපගේ කලාපයේ සහ ඉන් ඔබ්බෙන් පිහිටි රටවල වෙසෙන ජනතාවගේ තිරසාර සංවර්ධනය සහ යහපැවැත්ම සුරක්ෂිත වනු ඇත. අපගේ සියලු ප්‍රයත්නයන්හි දී, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, අධ්‍යයන ආයතන, තරුණයන් සහ ශිෂ්‍යයන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගැනීමේ සහ අන්තර්ග්‍රහණීයභාවය පවත්වාගැනීමේ වැදගත්කම අප අවබෝධ කර ගත යුතු ය. ඔවුන්ගේ විශේෂඥ දැනුම, නිර්මාණශීලිත්වය සහ සම්පත් අපගේ සාමූහික සාර්ථකත්වයට සැලකිය යුතු ලෙස ආකාරයෙන් දායක කර ගත හැකි අගනා වත්කම් වේ.

ඉන්දු- පැසිෆික් කලාපය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ දර්ශනය තුළ දක්වා ඇති පරිදි, මෙම සංගමය ආරම්භයේ සිටම සංගමයේ එකඟතාව මත පදනම් වූ, විකාශනාත්මක, එහෙත් ආක්‍රමණශීලී නොවන ප්‍රවේශයක් හරහා එකිනෙකා අතර අවබෝධය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක සහයෝගීතාවක් ගොඩනැගීමට සහ පුළුල් කිරීමට උත්සාහ ගෙන ඇත. මෙම වටිනාකම් ඉදිරියට ගෙන යාම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන්නේ නම්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ 1982 එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමට සහ නාවික සහ ගුවන් ගමන් සිදු කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීම සඳහා දායක වන මෙවලමක් බවට අපගේ සංගමය පත්වනු ඇත. එවිට සැමට ප්‍රතිලාභ හිමි වන ආකාරයෙන් සාමය, ස්ථාවරත්වය සහ ඉහළ මට්ටමේ සමෘද්ධිමත්භාවයක් පවත්වා ගැනීමට ධනාත්මක ලෙස දායක වීමට අපට හැකි වනු ඇත.

ගරු ආරාධිත අමුත්තනි, මහත්වරුනි, මහත්මියනි,

මෙවර මෙම සංගමයේ සභාපතිත්වය භාර ගන්නා ශ්‍රී ලංකාව, එහි මූලධර්ම සහ අරමුණු සාක්ෂාත් කරගැනීමෙහිලා දැඩි කැපවීමෙන් යුක්තව ඊට නායකත්වය ලබා දීමට ප්‍රතිඥා දෙයි. එබැවින් සංගමයේ අභිනව සභාපති ධුරයට පත් වූ අප, මෙම ප්‍රමුඛතා සඳහා කැපවී සිටින අතර, ඉන්දියානු සාගරයේ වටද්දර සීමාව තුළ වඩාත් සමෘද්ධිමත්, ආරක්ෂිත සහ අන්තර් සම්බන්ධිත අනාගතයක් උදා කිරීම සහතික කිරීම සඳහා අපගේ සෙසු සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරයි. මෙම සාමූහික ප්‍රයත්න තුළින් ඉන්දියානු සාගර වටද්දර කලාපයේ අනන්‍යතාවය තහවුරු කිරීම සහ සහයෝගීතාවයේ සහ තිරසාරභාවයේ ප්‍රදීපයක් ලෙස කටයුතු කරමින් අපගේ ස්ථාවරය ශක්තිමත් කිරීම අපගේ අරමුණ යි.

අපගේ සාර්ථකත්වය සහ අපගේ අනාගත පරපුරේ සාර්ථකත්වය රඳා පවතින්නේ අප අද ගන්නා තීරණ මත ය. අප නිවැරැදි තේරීම් කළ හොත්, අනාගත පරපුරේ අයිතීන් වෙනුවෙන් සටන් කළ පරපුරක් ලෙස ඔවුන් අපව සිහිපත් කරනු ඇත. මෙසේ උදා වී ඇත්තේ, කිසිවකු අත් නොහරිමින් සෞභාග්‍යමත් සහ ආරක්‍ෂිත ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීමේ සුවිශේෂී අවස්ථාව යි.

මෙරට ඔබ ගත කරන කාලය සොඳුරු අත්දැකීමක් බවට පත් වේවා!, යන්න මාගේ ප්‍රාර්ථනාව යි. ස්තුතියි!

Print Friendly, PDF & Email
Please follow and like us:

Close