පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම 2021 ඇන්ටන් මුත්තුකුමාරු ශූරතා පලිහ දිනා ගනී

පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම 2021 ඇන්ටන් මුත්තුකුමාරු ශූරතා පලිහ දිනා ගනී

මේජර් ජෙනරාල් ඇන්ටන් මුත්තුකුමාරු ශූරතා පලිහ සඳහා වන වාර්ෂික ක්‍රිකට් තරගය විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සහ කැන්බරා හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල මහ කොමසාරිස් කාර්යාලවල කණ්ඩායම අතර 2021 මාර්තු 20 වැනි දින යාරාලුම්ලා ෆොරස්ට්‍රි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානියේ ක්‍රීඩකයින්ගෙන් සමන්විත පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම මෙම ශූරතා පලිහ දිනා ගත්තේය. කාසියේ වාසිය දිනූ DFAT කණ්ඩායම, පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා යැවීය. පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම ඕවර 20 ක දී ලකුණු 139 ක් රැස් කළේය. DFAT කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 99 කට දැවී ගියහ. පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායමේ නායකත්වය සෙනරත් දිසානායක විසින් දරන ලද අතර, DFAT කණ්ඩායමේ නායකත්වය ශෂී සම්ප්‍රතී විසින් දරනු ලැබීය.

මීට වසර 55 කට පෙර පළමු වරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලයීය සංගමය (RCS) සහ DFAT එක්ව සංවිධානය කරන ලද මෙම මිත්‍රශීලී පුන්‍යාධාර කටයුත්ත මඟින් DFAT සහ ක්‍රිකට් ක්‍රීඩා කරන පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල මහ කොමසාරිස් කාර්යාල අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කරයි. මෙම වසරේ දී පුණ්‍යායතනයේ ආදායම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සේරුවාවිල පිහිටි විශේෂ අවශ්‍යතා සහිත නවයොවුන් ගැහැණු ළමයින් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වන ‘සුව සෙවණ’ වෙත ලබා දෙනු ඇත. පුණ්‍යායතන තීරණය කරනු ලබන්නේ සංවිධායකයින් තිදෙනා අතර වටමාරු පදනම මත ය.

ශූරතා පලිහ පිරිනැමීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස DFAT හි උතුරු හා දකුණු ආසියානු අංශයේ පළමු සහකාර ලේකම් ගැරී කෝවන් මහතා සහභාගී විය. ACT ක්‍රිකට් සංගමයේ සභාපති ඔලිවියා තෝර්ටන් මහත්මිය, රාජ්‍යතාන්ත්‍රිකයින්, රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලයීය සංගමයේ සභාපති කාන්තිලාල් ජින්නා මහතා සහ අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ඇන්ටන් මුත්තුකුමාරු මහතාගේ පුත් ඇන්ටන් (ටෝනි) මුත්තුකුමාරු (කණිෂ්ට) මහතා ද ඊට සහභාගී වූහ.

ගැරී කෝවන්, ටෝනි මුත්තුකුමාරු, කාන්ති ජින්නා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් සෙනරත් දිසානායක යන මහත්වරු මෙහි දී රැස්වූවන් ඇමතූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
කැන්බරා

2021 අප්‍රේල් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close