ශ්‍රී ලංකාවේ මැණික් ආර්මේනියාව වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මැණික් ආර්මේනියාව වෙත හඳුන්වා දෙයි

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ ආර්මේනියානු නිර්වේතනික කොන්සල්වරයා වන සර්ජිස් ටාවර්ඩ්යන් මහතා සමඟ එක්ව දෙරටේ කර්මාන්ත පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ අරමුණින් 2021 දෙසැම්බර් 2 වැනි දින ආර්මේනියාවේ වටිනා මැණික් ගැනුම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ මැණික් අපනයනකරුවන් අතර ව්‍යාපාරාන්තර හමුවක් සංවිධානය කළේය.

ශ්‍රී ලංකාවේ මැණික් අපනයන සමාගම් 8 ක ඉදිරිපත් කිරීම් සහ ශ්‍රී ලංකාවේ වටිනා මැණික් කර්මාන්තය තුළින් හිමිවන ප්‍රතිලාභ පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂිකා අයෝමා ඩයස් මහත්මිය සිදු කළ දළ විශ්ලේෂණයක් මෙම අතථ්‍ය සාකච්ඡාවට ඇතුළත් විය.

ආර්මේනියා ජනරජයට සමගාමීව අක්ත ගන්වා ඇති රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය  ශ්‍රී ලංකාවේ සාරවත් මැණික් සම්පත සහ ආර්මේනියාවේ දියුණු වෙමින් පවතින මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කළාය.

ආර්මේනියා ජනරජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ උපදේශක ගජික් මර්ට්ච්යන් මහතා, ආර්මේනියාවේ මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ප්‍රධානී හකොබ් ඩාර්බින්යන් මහතා,  යෙරෙවාන් ප්‍රාන්ත ස්වර්ණාභරණ කම්හලේ ප්‍රධානී සහ ව්‍යාපාරික නියෝජිතයින් කිහිප දෙනෙකු ආර්මේනියානු පාර්ශ්වය නියෝජනය කරමින් මෙම හමුව සඳහා සහභාගී වූහ.

මෙම ඵලදායී හමුව අවසානයේ දී වැඩිදුර සහයෝගීතාවය සඳහා මාර්ග සිතියමක් සැකසීම, උනන්දුවක් දක්වන ආර්මේනියානු ගැනුම්කරුවන්ගේ ලැයිස්තු හුවමාරු කරගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයන් පිහිටුවීම සඳහා සමීප සාකච්ඡා පැවැත්වීම යනාදිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සිය එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close