ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අදාළ වන වනාන්තර විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබඳ නව යුරෝපා සංගම් රෙගුලාසි

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අදාළ වන වනාන්තර විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබඳ නව යුරෝපා සංගම් රෙගුලාසි

වන විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබඳ නව යුරෝපා සංගම් රෙගුලාසි සම්බන්ධයෙන් ප්‍රධාන කර්මාන්ත පාර්ශවකරුවන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද රැස්වීමක් විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ මහත්මියගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ GSP+ සහනවල සෘජු ප්‍රතිලාභියෙකු ලෙස, යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත සිදු කරන ශ්‍රී ලංකාවේ රබර් අපනයනයේදී එම නිෂ්පාදන මෑතකදී වන විනාශයට ලක් වූ භූමි ප්‍රදේශවලින් ලබාගත් ඒවා නොවන බව හෝ වනාන්තර විනාශයට දායකවී නොමැති බව ඔප්පු කිරීම කෙරෙහි නිසි සැලකිල්ලක් දැක්වීමට සිදුවනු ඇත. යුරෝපා සංගමයේ පුරවැසියන් පරිභෝජනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන ගෝලීය වන විනාශයට හෝ වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා යුරෝපා සංගමය විසින් වනාන්තර විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබඳ නව යුරෝපා සංගම් රෙගුලාසි 2023 ජුනි මාසයේදී සම්මත කරන ලදී. ගවයන්, දැව, කොකෝවා, සෝයා, පාම් ඔයිල්, කෝපි, රබර් සහ ඒවායේ අතුරු නිෂ්පාදනයන් සඳහා මෙම නියාමනය අදාළ වේ.

විදේශ කටයුතු ලේකම්වරිය මෙම රැස්වීම ආරම්භයේදී රබර් නිෂ්පාදන අපනයන අංශය ඇතුළු තිරසාර කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාව ලබාදී ඇති ප්‍රමුඛතාව පිළිබඳ අවධානය යොමු කළ අතර නව රෙගුලාසිවලට අනුවර්තනය වීම සඳහා යුරෝපා සංගමයේ තාක්ෂණික සහාය ඉල්ලා සිටියාය.

ප්‍රධාන කර්මාන්තකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව වන විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබඳ යුරෝපා සංගම් රෙගුලාසි පිළිබඳ සාකච්ඡා කිරීමට බ්‍රසල්ස්හි යුරෝපීය කොමිසමේ පරිසරය සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩලයද දෙමුහුන් තොරතුරු සැසිවාරයට සහභාගී වූහ. ඔවුහු නව රෙගුලාසි පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ලබාදුන් අතර යුරෝපා සංගමයට රබර් ටයර් අපනයනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම වන Michelin Lanka පෞද්ගලික සමාගම විසින් ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දේශගුණික විපර්යාසවලට පිළියම් යෙදීම සහ ජෛව විවිධත්වය සුරැකීම සඳහා  රට තුළ වන විනාශයට එරෙහිව සටන් කිරීමට සහ වන ආවරණය වැඩි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, කර්මාන්ත අමාත්‍යාංශය සහ රබර් කර්මාන්ත සංගම් ඇතුළු අදාළ රාජ්‍ය ආයතන, බ්‍රසල්ස් සහ පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන සමාගම් 60කට අධික සංඛ්‍යාවක් මෙම තොරතුරු සැසියට සහභාගි වූහ. නව අනුකූලතා ක්‍රියා පටිපාටියට අනුකූලවීමට ශ්‍රී ලංකාවේ රබර් අපනයනකරුවන්ට සහාය වීම සඳහා වනාන්තර විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබඳ නව යුරෝපා සංගම් රෙගුලාසි පිළිබඳ ප්‍රයෝජනාත්මක අදහස් හුවමාරු කර ගැනීමට මෙම තොරතුරු සැසිය පසුබිමක් සැපයීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close