විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙරටට පැමිණි දූත පිරිස හමුවෙයි

 විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙරටට පැමිණි දූත පිරිස හමුවෙයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආසියානු  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මියයේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි ජ්‍යෙෂ්ඨ දූත පිරිසක්, 2022 ජූනි 28 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම සඳහා දායක වන දෙරට අතර පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක, ශක්තිමත් සහ බහුවිධ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය විදේශ ලේකම් විජේවර්ධන මහත්මියගේ පැසසුමට ලක්විය. රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව අත්දකින බහුවිධ අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදයේ සහය ලබා ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද ශ්‍රී ලංකා පාර්ශ්වය සාකච්ඡා පැවැත්වී ය. ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් හමුවීමටත්, අදාළ ගැටළු පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදය පවත්නා දිගුකාලීන හවුල්කාරිත්වයේ පැතිකඩ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ලැබුණු මෙම අවස්ථාව, සංචාරයේ නිරත වූ දූත පිරිසෙහි ඇගයුමට ලක්විය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය, එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්, එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් ද, සංචාරයේ නිරත වූ  දූත පිරිස සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ. ද්විපාර්ශ්වික කටයුතු (බටහිර) පිළිබඳ අතිරේක ලේකම් මනීෂා ගුණසේකර මහත්මිය, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් චන්දන වීරසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ චතුර පෙරේරා මහතා යනාදීහු විදේශ ලේකම්වරිය සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම දූත පිරිස 2022 ජූනි 26- 29 යන දිනවල සිදු කළ සිය සංචාරය අතරතුර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close