විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා 2022 ජූනි 23-25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වේ

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා 2022 ජූනි 23-25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝජනය කළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම (CFAMM) පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පෙර, එනම් ජූනි 23 වැනි දින පැවැත්විණි.

රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් පනස් හතර නියෝජනය කළ රාජ්‍ය නායකයන් සහ විදේශ අමාත්‍යවරු පිරිසක් සහභාගී වූහ. කිගාලි හි පැවති මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ දී වේල්සයේ කුමරු විසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන දෙවැනි එලිසබෙත් මහ රැජින නියෝජනය කරන ලදී.  පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස දශක හතක් මුළුල්ලේ එතුමිය විදහා දැක්වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් සහ එතුමියගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් රාජ්‍ය නායකයන් විසින්  මහ රැජින වෙත සුබ පැතුම් පිරිනමන ලදී.

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තේමාව වන්නේ “පොදු අනාගතයක් ලබා දීම: සම්බන්ධ කිරීම, නවෝත්පාදනය සහ පරිවර්තනය” යන්න යි. එමඟින් පොදුරාජ්‍ය මණ්ඩලය නමැති පවුලේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ වෙළඳ කටයුතු ඉහළ නැංවීම යන හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කෙරෙන කාර්යයන් ඉස්මතු කෙරේ. සාමාජික රාජ්‍යයන් “ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ පාලනය”, “තිරසාර සහ සියල්ල ඇතුළත් සංවර්ධනය” සහ “පශ්චාත්-COVID-19 ප්‍රතිසාධනය” යන තේමා ක්ෂේත්‍ර තුන යටතේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා සහභාගී විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ නියෝජිත පිරිස්වල ප්‍රධානීහු,  කොවිඩ්-19 වසංගතය තුළින් පූර්ණ ප්‍රකෘතියට පත්වීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධ වීම, නව්‍යකරණය කිරීම සහ පරිවර්තනය වීම යනාදියෙහි පවත්නා වැදගත්කම, 2030 වර්ෂයේ න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම, පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය ඉහළ නංවන ආකාරයෙන් ගැටුම් සහ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම යන කරුණු පිළිබඳව අවධාරණය කළහ.

මෙම සැසිවාරය ඇමතූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, මේ  වන විට ලෝකය මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලින් මිදීම සම්බන්ධයෙන් ශක්තිමත් ආයතන සතු වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය. නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරම තත්ත්වයන්ගෙන් එකක් ලෙස වර්තමානයේ පවතින ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟය හැඳින්වූ අමාත්‍ය පීරිස් මැතිතුමා,  මෙම තීරණාත්මක අවස්ථාවේ දී මෙරට වෙනුවෙන් සහය පළ කළ සියලුම ජාතීන්ට සිය ස්තුතිය පුද කළේ ය. ආර්ථික ප්‍රතිසංස්කරණවලට අමතරව සුදුසු දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත්, විශේෂයෙන්ම තරුණ නියෝජනය පාර්ලිමේන්තු ක්‍රියාවලියට සහ පාලන කටයුතුවලට ඇතුළත් කිරීමටත් ශ්‍රී ලංකාව තීරණය කොට ඇති බව, අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය.

මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ දී ගැබෝන් ජනරජය සහ ටොගෝල්ස් ජනරජය නව සාමාජිකයන් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයට ඇතුළත් කෙරුණු අතර, වත්මන් මහලේකම් වන පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් QC මැතිනිය සිය දෙවන වාරය සම්පූර්ණ කිරීම සඳහා නැවත පත් කෙරිණි. ජීව ඉඩම් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රතිචාරය, තිරසාර නාගරීකරණය පිළිබඳ ප්‍රකාශය සහ ළමා රැකවරණය සහ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කිගාලි ප්‍රකාශනය යන ලේඛන ත්‍රිත්වය නායකයන් විසින් මෙහිදී සම්මත කරන ලදී.

මෙම සැසිවාර සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමිනා ජේ. මොහොමඩ් මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් මහතා ද සහභාගී වූ අතර , එහිදී ඔවුන් සිය සංවිධානවල ඉදිරි දැක්ම ඉදිරිපත් කළ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවලට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඉවහල් වන පුළුල් අන්තර්-සංවිධාන සහයෝගීතාවයක් ගොඩනැංවීම පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ.

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව 2024 වර්ෂයේ දී  සැමෝවාහි දී පැවැත්වීමට නියමිත ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, පොදුරාජ්‍ය මණ්ඩලයීය  රටවල් කිහිපයක මිත්‍ර පාර්ශ්ව සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක් ද පැවැත්වී ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close