විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය කොළඹ පැවති 55 වැනි ආසියාන් දින සැමරුම සඳහා  සහභාගී වේ

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය කොළඹ පැවති 55 වැනි ආසියාන් දින සැමරුම සඳහා  සහභාගී වේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, 2022 අගෝස්තු 08 වැනි දින කොළඹ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 55 වැනි ආසියාන් දින සැමරුමෙහි  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූවා ය. ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය සහ අනෙකුත් ආසියාන් රටවල් සතර නියෝජනය කරමින් කොළඹ සිටින දූත මණ්ඩල ප්‍රධානීන් වන මැලේසියාවේ මහ කොමසාරිස් ටන්ග් යන්ග් තායි මැතිතුමා, මියන්මාරයේ තානාපති හන් තූ මැතිතුමා, තායිලන්තයේ තානාපති පොජ් හාර්න්පොල් මැතිතුමා සහ වියට්නාමයේ තානාපති හෝ ති තන්හ් ටෘක් මැතිනිය විසින් මෙම වැඩසටහන සඳහා සත්කාරකත්වය සපයන ලදී.

මෙහිදී අදහස් දැක්වූ විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය, ශ්‍රී ලංකාව ප්‍රධාන සමුද්‍රීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස අතීතයේ ලොව පුරා ප්‍රචලිතව පැවති අවධියේ පටන්, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියාතික රටවල් අතර පැවති ශක්තිමත් සබඳතා පිළිබඳව සිහිපත් කළා ය. සියවස් ගණනාවක් පැරණි මෙම සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින්, සාර්ථක ආර්ථිකයන් සහිත ආසියාන් රටවල් සමඟ හවුල් වීම සඳහා බොහෝ අවස්ථා ශ්‍රී ලංකාවට පවතින බව එතුමිය සඳහන් කළා ය.

ආසියාන් සාමාජිකයන්, නිරීක්ෂකයන් සහ සංවාද පාර්ශ්ව සමඟ ඵලදායී ලෙස කටයුතු කරමින්, ආසියාන් කලාපීය සංසදයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා මෑතකදී කාම්බෝජයේ නිරත වූ  සංචාරය විදේශ ලේකම්වරියගේ අවධානයට යොමු විය. ආර්ථික ක්‍රියාකාරකම් පණ ගැන්වීම, ආහාර, බලශක්ති සහ දේශගුණික සුරක්ෂිතතාව සහතික කිරීම සහ කලාපයේ ආරක්ෂක පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීම යනාදී වශයෙන් තිරසාර අනාගතයක් උදා කිරීම සඳහා ආසියාන් සංවිධානය කටයුතු කරන බැවින්, ASEAN ACT – ‘Addressing Challenges Together’ යන තේමාව ඉතා යෝග්‍ය තේමාවක් ලෙස තවද ඇය සඳහන් කළාය.

සන්ධාන කටයුතු ප්‍රධානී සෙනරත් දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. මෙම වැඩසටහනෙන් අනතුරුව සංග්‍රහයක් පවත්වන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close