ඊශ්‍රායල  වෙළඳපොළ සතු අවස්ථා පිළිබඳව සවිස්තරාත්මක වෙබිනාර් සාකච්ඡාවක්  ඉදිරිපත් කරයි

ඊශ්‍රායල  වෙළඳපොළ සතු අවස්ථා පිළිබඳව සවිස්තරාත්මක වෙබිනාර් සාකච්ඡාවක්  ඉදිරිපත් කරයි

ඊශ්‍රායල වෙළඳපොළ සතු අවස්ථා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලද වෙබිනාර් සාකච්ඡාවක්, ටෙල් අවිව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (SLEDB)  ඒකාබද්ධ සහයෝගයෙන් සහ ඊශ්‍රායල වාණිජ මණ්ඩල සම්මේලනයේ (FICC) සහ ඊශ්‍රායල - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් 2022 අගෝස්තු 03 වැනි දින සංවිධානය කරන ලදි. ඊශ්‍රායල වෙළඳපොළ සතු අවස්ථා පිළිබඳව දැනුම්වත් කිරීම සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඊශ්‍රායලයේ වෙළඳාම හා සබැඳි නවතම තොරතුරු බෙදාගැනීම මෙම වෙබිනාර් සාකච්ඡාවේ අරමුණ විය. දියමන්ති, ධීවර කර්මාන්තය, තේ, ඇඟලුම්, ආහාර පාන වර්ග, වායු පුරවන ලද සහ යළි සකසන ලද රබර් ටයර් සහ ටියුබ්, කොහුබත්, කුළුබඩු, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සංරචක සහ තොරතුරු තාක්ෂණ- ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කළ ශ්‍රී ලාංකික අපනයනකරුවන් 130 දෙනෙකුට අධික පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ඇරයුමකට අනුව මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

 සිය ආරම්භක දේශනය මඟින් අදහස් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල් මහතා, ශ්‍රී ලංකා - ඊශ්‍රායල ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. මෙහිදී අදහස් දැක්වූ  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරුණ විල්පාත මැතිතුමා, ඊශ්‍රායලයේ පැවැත්වෙන විවිධ වෙළෙඳ සල්පිල්/ප්‍රදර්ශනවලදී ඊශ්‍රායල වෙළඳපොළට පිවිසීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සිය නිෂ්පාදන හා සේවා නිරන්තරයෙන් ප්‍රදර්ශනය කළ යුතු බව පෙන්වා දුන්නේ ය. තවද එතුමා  තේ, ඇඟලුම්, මත්ස්‍ය සහ මුහුදු ආහාර, කුළුබඩු, ආහාර පාන වර්ග, රබර් නිෂ්පාදන, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග, තොරතුරු තාක්ෂණ- ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සහ දේපළ, කර්මාන්ත, මෙවලම් (PPE) යන ක්ෂේත්‍ර ඊශ්‍රායල වෙළඳපොළ සඳහා වන ශ්‍රී ලංකාවේ අපනයන පරිමාව ඉහළ නැංවීම සඳහා වූ ශක්‍යතා සහිත ක්ෂේත්‍ර වශයෙන් අවධාරණය කළේය.

ඊශ්‍රායල වෙළඳපොළ පිළිබඳ දළ විශ්ලේෂණයක්, ඊශ්‍රායලයේ සාර්ව ආර්ථික දත්ත, ඊශ්‍රායලයේ හවුල්කරුවන් හඳුනාගැනීම සඳහා වූ පොදු මාර්ගගත සම්පත්, ඊශ්‍රායල ව්‍යාපාරික සංස්කෘතිය, සහයෝගීතා අංශ, ඊශ්‍රායලය තුළ ව්‍යාපාර කිරීම සඳහා පවත්නා පහසුව, වෙළඳ අවස්ථා, ඊශ්‍රායල වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සුදුසුකම්/ප්‍රමිතීන් සහ බාධක යනාදිය පිළිබඳ ඉදිරිපත් කිරීම් ඊශ්‍රායල වෙළඳ මණ්ඩල සම්මේලනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ව්‍යාපාර සංවර්ධන විධායක ඕර් නෙහුෂ්ටාන් මහතා  සහ ඊශ්‍රායල - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අනට් බර්න්ස්ටයින් - රයික් මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා  අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳපොළ සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයසිංහ මහතා  විසින් මෙම වෙබිනාර් සාකච්ඡාව මෙහෙයවන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙල් අවිව්

2022 අගෝස්තු 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close