විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නොවැම්බර් 10 වැනි දින 2020 පාත්ෆයින්ඩර් ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුවේ දී පැවැත්වූ ප්‍රධාන දේශනය

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නොවැම්බර් 10 වැනි දින 2020 පාත්ෆයින්ඩර් ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුවේ දී පැවැත්වූ ප්‍රධාන දේශනය

සුභ උදෑසනක්! සුභ සන්ධ්‍යාවක්!

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

මෙබඳු කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත සම්භාවනීය රැස්වීමකට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සැබවින්ම නිහතමානීව තුටු වෙමි. ඔබගෙන් සමහරෙකු පෞද්ගලිකව මුණගැසීමේ වරප්‍රසාදය මට ලැබී ඇති අතර, කොවිඩ්-19 වසංගතය මඟින් අනෙක් අය හමුවීමෙන් මා වළකාලීය. කොවිඩ්-19 ඉවත්ව ගිය පසු, අප සැවොම නැවත සාගරයේ යාත්‍රා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අප සැවොම ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස කටයුතු කරන බුද්ධි මණ්ඩලය වන පාත්ෆයින්ඩර් පදනමේ තානාපති ශිව්ශංකර් මෙනන් මැතිතුමා සහ තානාපති බර්නාඩ් ගුණතිලක මැතිතුමා සමඟ මෙහි සිටීම මට ගෞරවයක් කොට සලකමි. මම පුද්ගලයින් නම් කිරීම ආරම්භ කළහොත්, මට වෙන් කළ මිනිත්තු පහළොව ඒ සඳහා පමණක් මට අවශ්‍ය වනු ඇත. එබැවින් කරුණාකර ඔබ එක් එක් කෙනා වෙන් වෙන්ව පිළිනොගැනීම ගැන මට සමාව දෙන්න. නමුත් මම ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමි. මෙය, 2017 බෙංගාල බොක්ක - ත්‍රිකුණාමලය උපදේශනය I සහ II සමඟ ආරම්භ වූ මගේ සිහිනයේ කොටසක් බැවින් මම මහත් සේ සතුටු වෙමි. ඔබ සැවොම දන්නා පරිදි, අපි එම ව්‍යාපෘතිය සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ නමුත්, ඉන් පසුව මගේ වෘත්තීය ගමන් මඟේ වෙනසක් සිදු වූ අතර, මම විදේශ අමාත්‍යාංශයට එක් වීමට සිදුවිය. එබැවින්, ප්‍රධාන දේශනය කිරීම සඳහා මට ආරාධනා කළ විට, මා සඳහන් කළේ ඇසිපිය හෙළනා සැනින් මා එය භාරගන්නා බවයි.

එබැවින් නෝනාවරුනි, මහත්වරුනි, සංස්කෘතීන් හා වෙනස්කම් දියකර හැර මිනිසුන් එකිනෙකාට සමීප කරවමින් සහ ගෝලීය ආර්ථිකයට සහයෝගය දැක්වීම මඟින් ලෝකයේ ඉරණම නිර්වචනය කිරීමට මුහුද ඉවහල් වී තිබේ. මුහුද ආශ්‍රිත වෙළඳාම යනු සියල්ල ඇතුළත් සහ තිරසාර වර්ධනයක් සඳහා වූ යන්ත්‍රයකි. බොහෝ ජාතීන්ගේ සැලකිය යුතු ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රවේශය වන්නේ සමුද්‍රීය සම්බන්ධතාවයයි. අප කවුරුත් දන්නා පරිදි, ලෝකයේ 3 වැනි විශාලතම සාගරය වන ඉන්දියන් සාගරය මඟින් අප්‍රිකාවේ නැගෙනහිර වෙරළේ සිට ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරය දක්වා වර්ග කිලෝමීටර මිලියන 70 ක් පමණ ආවරණය කරන අතර, වඩාත්ම වැදගත් ලෙස, දළ වශයෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් වන බිලියන 2.7 කට ආසන්න ජනතාවක් එහි වෙසෙති.

ආසියාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික හා දේශපාලන වැදගත්කම පිළිබඳව සැකයක් නොමැත. ආසියාවේ පිබිදීමත් සමඟ දේශපාලන හා ආර්ථික සමතුලිතතාවය වඩ වඩාත් ඉන්දියානු හා පැසිෆික් සාගර දෙසට විතැන් වෙමින් පවතී. මෙම කලාපය 21 වැනි සියවසේ ජාත්‍යන්තර පිළිවෙල සඳහා ප්‍රවේශය බවට පත්වෙමින් තිබේ. මා දුටු පරිදි ඉන්දියන් සාගරය පිළිබඳ නවතම උපාය මාර්ගවලින් එකක්, ඉන්දු පැසිෆික් කලාපය සඳහා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ - ජර්මනිය - යුරෝපය - ආසියාව: එකමුතුව 21 වැනි සියවස හැඩ ගැස්වීම නමින් ජර්මනියෙන් ඉදිරිපත් විය. මා එම ලේඛනයෙන් එක් පේළියක් උපුටා දක්වන්නේ නම්, එය මෙසේ වනු ඇත, “… අපේ සමාජයේ සමෘද්ධිය රඳා පවතින්නේ නාවික කටයුතු පිළිබඳ පවත්නා නිදහස මත ය”. මෙය ලෝකයේ බොහෝ රටවලට සහ විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ ඉන්දියන් සාගර කලාපයේ වෙනත් බොහෝ වෙරළාසන්න රාජ්‍යවලට අදාළ වේ. ප්‍රතිපත්ති මාර්ගෝපදේශ මඟින් ඉන්දියානු සහ පැසිෆික් සාගරවල වර්ධනය වෙමින් පවතින වෙළඳපොලවල් සඳහා සහභාගී වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. ගෝලීය සැපයුම් දාම හෝ වටිනාකම් දාම ඉන්දියන් සාගරය හරහා බැඳී ඇති බව අපි කවුරුත් දනිමු. ඓතිහාසිකව, ඉන්දියානු සාගරය වෙළඳාම, සංස්කෘතිය, ආගම සඳහා ඉතා හොඳින් සම්බන්ධ වී ඇත. ඉන්දියානු සාගරය 21 වන සියවසේ ප්‍රධාන ගෝලීය සමුද්‍රීය පොදු රාජ්‍යයන්ගෙන් එකකි. එබැවින් ඉන්දියානු සාගරය වෙත පැමිණ එය භාවිතා කිරීමට සෑම අයෙකුටම නිදහස තිබිය යුතුය.

අප කවුරුත් දන්නා සමීකරණයට අනුව, ලෝක බහාලුම්වලින් 50% ක්, ලෝක බලශක්තියෙන් 72% ක් සහ ලෝක තොග භාණ්ඩවලින් 35% ක් ඉන්දියන් සාගර ජලය හරහා ප්‍රවාහනය කරනු ලබන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගැටුම් අතරතුර දී මෙන්ම, සාමකාමී කාලවල දී ද නාවික කටයුතු පිළිබඳ ආරක්ෂාව මූලික අවධානයක් යොමු කළ යුතු කරුණක් ලෙස පවතී. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ කුඩා කණ්ඩායමකට ඉන්දියානු සාගර වෙළඳ නැව් කප්පම් ලබා ගැනීම සඳහා රඳවා ගැනීමට හැකි වූ බව අපි කවුරුත් දනිමු. ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව කෙතරම් වැදගත්ද යන්නට මෙය පැහැදිලි උදාහරණයකි. දශක තුනකට ආසන්න කාල පරතරයකින් පසුව, ඉන්දියානු සාගර කලාපය යළිත් වරක් හමුදාමය ගැටුම් ඇතිවීමේ හැකියාවක් සහිත සැලකිය යුතු අන්දමේ බල තරඟයේ තවත් අදියරකට අවතීර්ණ වන බවට ලකුණු දක්නට ලැබේ.

එබැවින්, විමසිය යුතු කරුණු වන්නේ, ඉන්දියානු සාගර කලාපයේ වෙරළාසන්න රටවල් වන අපට අවශ්‍ය වන්නේ කුමක්ද? සුපිරි බලවතුන්ගේ ගැටුමක් තුළට ඇදී යාමට අප කැමතිද? එය අපගේ යහපත සඳහා වේද? අපගේ ජයග්‍රාහී මාවත වන්නේ එය ද? අපි අපගේ ජනතාවගේ ආර්ථික හා සමාජ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු නොවන්නේ ද? 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අප වැඩි අවධානයක් යොමු කළ යුතු නොවේද? යනුයි. පිළිතුරු අවශ්‍ය වන ප්‍රශ්න වන්නේ මේවාය.

ආසියානු සංවර්ධන බැංකුව මෑතක දී වාර්තාවක් නිකුත් කරමින්, අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 22.6 ක මුදලක් අවශ්‍ය වන අතර එය 2030 දක්වා දිව යන බව පැවසීය. එතරම් මුදල් ප්‍රමාණයක් අපගේ සංචිතවල නොමැති නම්, තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා කර ගැනීමට අපට නොහැකි වනු ඇත.

ඉතින් නෝනාවරුනි, මහත්වරුනි,

මෙම මුදල් ලැබෙන්නේ කොහෙන්දැයි යන ප්‍රශ්නය මට ඉදිරිපත් කළ හැකිද? එය පරිත්‍යාගශීලීන්ගෙන්, ද්විපාර්ශ්වික - බහුපාර්ශ්වික ණය දෙන්නන්ගෙන්, බැංකුවලින්  පැමිණිය හැකිද, හෝ ආර්ථික වශයෙන් ශක්‍ය විදේශ සෘජු ආයෝජන තිබිය යුතුද?

මින් පෙර අසා නොතිබූ අභියෝග අප වෙත ගෙන එමින් කොවිඩ්-19 වසංගතය දැන් අපට භීතියක් ගෙන දී ඇත. එය අපගේ අත්තිවාරම දෙදරවා ඇති අතර, ලෝකයේ නිශ්චිත ලෙස පැවති දේවල් පිළිබඳව ප්‍රශ්න කෙරෙමින් පවතී. අප භයානක අවපාතයක් කරා ගමන් කරමින් සිටින්නෙමු ද? ආර්ථිකයන් මන්දගාමී වනු අපි දුටුවෙමු. සමාජ ආර්ථික ආතතිය ඉහළ මට්ටමක පවතින අතර, බිය හා අනාරක්‍ෂිතභාවය සඳහා මිනිස් හැඟීම් හේතු වී තිබේ. කොවිඩ්-19 හරහා ජාතිකවාදයේ ආන්තික ස්වරූපයන් දැකගත හැකි අතර, අප දැනටමත් ගෝලීය සැපයුම් දාමය සඳහා වන බාධාවන් අත්විඳිමින් සිටිමු. සෞඛ්‍ය රාජ්‍යතාන්ත්‍රිකභාවය සමඟ බහුපාර්ශ්වික උපකාර පෙරමුණට පැමිණ තිබේ. සෑම රටකටම ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතාව පවත්වාගෙන යාම සහතික කිරීමේ අවශ්‍යතාවයක් පවතී. අනාගතයේ දී රටවල් අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට වඩා රෝහල් සහ රසායනාගාර සඳහා ආයෝජනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සිදුවිය හැකිය.

ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලනික, භූ මූලෝපායික හා භූ-ආර්ථික කරුණු සහ කොන්දේසි පිළිබඳව වචන කිහිපයක් එක් කිරීමට මට අවසර දෙන්න. මා පෙර සඳහන් කළ පරිදි, ඉන්දියානු සහ පැසිෆික් සාගර 21 වැනි සියවසේ ප්‍රධාන සාගර බවට පත්වෙමින් තිබෙන බව අපට පෙනේ. අප ඉන්දියන් සාගරය දෙස බලන විට, මා සඳහන් කිරීමට කැමති ප්‍රධාන උපාය මාර්ග දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයයි. අප ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය ගැන කතා කරන විට, එහි පදනම වන්නේ ඉන්දියානු සහ පැසිෆික් සාගර සඳහා ‘නිදහස් හා විවෘත සාගර වෙළඳාම’ යි.

මා සඳහන් කිරීමට කැමති අනෙක් උපාය මාර්ගය වන්නේ තීරය සහ මාර්ගය පිළිබඳ මුලපිරීමයි. තීරය සහ මාර්ගය මුලපිරීම, ඉන්දියානු සාගරය හරහා සමුද්‍රීය යටිතල පහසුකම් සංවර්ධනය හා සමුද්‍රීය වෙළඳාමට සම්බන්ධ දැවැන්ත ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරයි. ඉන්දියානු සාගරයෙන් අපට අවශ්‍ය කුමක්දැයි ශ්‍රී ලංකාව වැනි සමුද්‍රාසන්න රටකින් විමසුවහොත්, මා පවසනුයේ, මා විශ්වාස කරන්නේ ඉන්දියානු සාගරයේ බොහෝ සමුද්‍රාසන්න රටවල් මෙම මතය නියෝජනය කරන බවයි; අපගේ සාගර ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරම, සාගර වෙළඳාම සිදු කිරීම සඳහා නිදහස් හා රීති මත පදනම් වූ සමුද්‍රීය පටිපාටියකින් යුතු ඉන්දියානු සාගරයක් දැකීමට අපට අවශ්‍යය. අපේ කලාපය සඳහා අපට අවශ්‍ය වන්නේ මෙයයි.

නෝනාවරුනි, මහත්වරුනි,

අවාසනාවකට මෙන්, ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික තරඟකාරී කලාපයක් බවට පත්ව ඇති බව අපට පෙනී ගොස් ඇත. මම මෙම RMB ලෙස සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙයින් අදහස් වන්නේ, රෙන්මින්බි යුවාන් නොව එය සම්පත් (Resources), වෙළඳපොළ (Markets), සහ පදනම් (Bases) යන අර්ථ දක්වයි. දැන් ‘පදනම්’ යන පදය අපට පහසුවෙන් ‘ස්ථාන’ ලෙස වෙනස් කළ හැකිය.

අපට රටවල් කිහිපයක් තිබුණත්; බොහෝ රජයන්, සංවිධාන සහ ආයතන දැන් ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි අවධානය යොමු කරමින් සිටින්නේ ඔවුන්ගේ සංකල්පීය යොමු රාමුව සඳහා වන අතර, එය ඔවුන්ගේ ප්‍රතිපත්තිවල පදනම වේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ අරමුණු, අවධාරණය සහ ප්‍රතිපත්ති එක හා සමාන නොවන බව අපට පෙනේ. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය හා එක්සත් ජනපදය යන ප්‍රබල රාජ්‍ය සතරෙන් සැදුම්ලත් කොඩ් යනුවෙන් හැඳින්වෙන රාජ්‍ය එකමුතුවේ යළි  ඉස්මතු වීම අපට පෙනෙයි. ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සඳහා පිළිතුර වන්නේ කොඩ් ද? සමුද්‍ර ආරක්ෂණයේ ප්‍රධාන හසුරුවන්නා වන්නේ කොඩ් ද? ඉන්දියානු සාගරයේ ඊළඟ ආරක්ෂක සැපයුම්කරු වීමට කිසිදු තනි රටකට නොහැකි බව අපි කවුරුත් දනිමු. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මෙය ඔප්පු කර ඇත. මේ අනුව, අපට සහයෝගී මැදිහත්වීමක් අවශ්‍ය වන නමුත්, කොඩ් සමුද්‍රීය “සිසිල්” යුද්ධයකට තුඩු දෙනු ඇත. සීතල යුද්ධය තරම් සීතල නොවිය හැකි බැවින්, “සීතල” යන වචනය භාවිතා කිරීමට මට අවශ්‍ය නැත.

සමුද්‍රීය ආරක්ෂාව ඇති සමහර රටවල්, ඉන්දියානු සාගරයේ වෙනත් රටවලට ආරක්ෂාව සැපයීම සඳහා මඟ පාදන බව පෙනේ. එබැවින් ක්‍රමයෙන් ඉහළ යන අවි තරඟය  ඉන්දියානු සාගරයේ විශේෂ ලක්ෂණය බවට වේගයෙන් පත්වමින් තිබේ. අප කවුරුත් දන්නා පරිදි ඉන්දියානු සාගරය ලෝකයේ වඩාත්ම හමුදාමය කටයුතු සිදුවන සාගරයකි. ඕනෑම විටෙක ආසන්න වශයෙන් යුද නැව් 120 ක් පමණ මෙහි ඇත. හැකි නම්, 2008 සිට 2020 දක්වා සටහන් කර ඇති සංඛ්‍යා ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. විවිධ රටවල් 29 කින් යුධ නැව් 575 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, සමහර විට සතියකට එක් නැවකට වඩා පැමිණ තිබේ. එය අති විශාල යුද නැව් සංඛ්‍යාවකි. අපට ඉන්දියානු සාගරය තුළ විශාල අවිශ්වාසයක් සහ විශ්වාස ඌනතාවයක් පවතින බව තානාපති බර්නාඩ් ගුණතිලක මහතා ද සඳහන් කළේය.

අවධානය ඉන්දියානු සාගරයේ දකුණු ආසියාව කෙරෙහි ඉක්මනින් යොමු කිරීමට මට අවසර දෙන්න. එය ඉතා සංකීර්ණ ආරක්ෂක නිමැවුමකි. එය හමුදාමය, දේශපාලනික හා ආර්ථික වශයෙන් නිරන්තර වෙනස්වීම්වලට භාජනය වන කලාපයක් වන නමුත්, අපට ආරක්ෂක සම්මුතියක් නොමැත. අපට කලාපය තුළ අන්තර් රඳා පැවැත්මක් නොමැත. අපට උපායමාර්ගික අවිනිශ්චිතතාවයන් පවතින අතර, ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු නිසා මෙය න්‍යෂ්ටික කලාපයක් ලෙස පවතී. පසුගිය වසර 22 පුරා දේශ සීමාව සම්බන්ධයෙන් ඔවුන් අතර ගැටුමක් පවතින අතර, දකුණු ආසියාවේ සමහර රටවලට මායිම්ව සිටින චීනය තවත් න්‍යෂ්ටික බලවතෙකි. දෙවනුව සිදුවන මෙම කලාපීය හා ජාතික ආරක්ෂක මැදිහත්වීම අපි දකිමු. විශාල න්‍යෂ්ටික බලවතුන්ගේ භූගෝලීය පිහිටීම මගින් ඇතිකරන බලපෑම සහ මෙම න්‍යෂ්ටික බලවතුන් අතර සිර වී සිටින කුඩා රටවල් කෙරෙහි එමඟින් ඇති කරන බලපෑම අප අවබෝධ කරගත යුතුය. ඉන්දියානු සාගරයේ කුඩා රටවල් අත්විඳින උභතෝකෝටිකය වන්නේ මෙයයි. ඉන්දියාවේ විශාලත්වය, එහි ජනගහනය සහ ඉන්දියානු සාගරයේ වෙරළ තීරය පිළිබඳව ද අප මතක තබා ගත යුතුය.

දැන් අපි “නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් සාගරයක්: නමුත් කුමක් සඳහාද?” යන ප්‍රශ්නය ගැන කතා කරමු. අපට වෙළඳාම, සම්බන්ධතාවය සහ සංවර්ධනය නොමැති නම්, නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් උපාය මාර්ගයක හෝ සාගර උපාය මාර්ගයක පවතින වැදගත්කම කුමක් දැයි අපට විමසිය හැකිය.

එබැවින්, නෝනාවරුනි, මහත්වරුනි, ශ්‍රී ලංකාව කරා පැමිණි විට, අප සිටින්නේ ඉන්දියන් සාගරයේ මධ්‍යයේ, ඉන්දියන් සාගරයේ දකුණු පැත්තේ සිට සමාන දුරක් සහ ප්‍රධාන මුහුදු සන්නිවේදන මංතීරුවලට ආසන්නව සහ භූගෝලීය වශයෙන් ඉන්දියාවට ඉතා සමීපව බව අපි විශ්වාස කරමු. ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය හෝ රුසියාව වේවා, අප බලපෑම් ක්ෂේත්‍රයන් හෝ බලපෑම් අක්ෂයන් අතර සිටින අතර, සාපේක්ෂව කුඩා රටක්, කුඩා ආර්ථිකයක් සහ කුඩා හමුදාවක් සහිත අපට නීති රීති මත පදනම් වූ පිළිවෙලක් අවශ්‍ය යැයි අපි විශ්වාස කරමු. මෙම අසමමිතිය මඟහරවා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ නීති රීති පදනම් කරගත් අනුපිළිවෙලක් තුළිනි; සත්‍ය වශයෙන්ම අප ප්‍රාර්ථනා කරන්නේ මෙයයි. ඉන්දියානු සාගරය හරහා සමුද්‍රීය වෙළඳාම බලවතුන් විසින් මිළට ගැනීම හෝ එසේ කරනු දැකීමට අපට අවශ්‍ය නොවන අතර, එය සංවර්ධනයට බාධාවක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය බලයන් නොව බල තුලනයකි. ශ්‍රී ලංකාව යනු දේපළ වෙළඳාම් ඉඩම් කොටසක් නොවන අතර, අපගේ ජාතික අවශ්‍යතාවලට සහ ස්වෛරීභාවයට ගරු කරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

මෙම පසුබිමට හමුවේ, නුදුරු අනාගතයේ දී අපට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට ඇඟවීමක් කොවිඩ්-19 මඟින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. සිදුවිය හැකි අර්බුදය මඟ හරවා ගැනීම සඳහා ජනාධිපතිවරයාට වැදගත් අංශ තුනක් මත පදනම් වූ ආර්ථික උපාය මාර්ගයක් ඇත. එයට ජාතික ආරක්ෂාව පළමුව සහ ප්‍රධාන වශයෙන් ඇතුළත් වන අතර, ඉන් පසුව විදේශ ප්‍රතිපත්තිය තුළින් ආර්ථික සංවර්ධනය හා සවිබල ගැන්වීම ඇතුළත් වේ. කලින් සඳහන් කළ පරිදි ඉන්දියන් සාගරයේ පවතින තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටකට අපගේ විදේශ ප්‍රතිපත්තිය සඳහා මූලික නීති සපයාගත යුතුව ඇති අතර, එවැනි එකක් වනුයේ ‘මධ්‍යස්ථභාවය’යි.

ශ්‍රී ලංකාව සැමවිටම නොබැඳි රටක්ව පැවති අතර මධ්‍යස්ථව සිටීමට අපි කැමැත්තෙමු. සියලු රාජ්‍යයන් සමඟ අඛණ්ඩව 'මිත්‍රශීලී සබඳතා' පවත්වාගෙන යාමට අපට අවශ්‍යය. කිසිදු ප්‍රධාන බල ක්‍රීඩාවලට හසු වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරයි. රටවල් අතර මුවා වී ආරක්ෂිත වීමට අපට අවශ්‍ය නැත; අපට රටවල් තෝරා ගැනීමට ද අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු සාගරයේ අපේම උපාය මාර්ගික ස්වයං පාලනයක් පවත්වා ගැනීමටය. විදේශ ආයෝජන අපි ඉතා සාදරයෙන් පිළිගනිමු, කෙසේ වෙතත්, ‘ශ්‍රී ලංකාව උපාය මාර්ගික වත්කම්වල පාලනය විදේශ අවශ්‍යතා සඳහා පාවා නොදෙනු ඇත’. අපි තව තවත් විදේශ ඍජු ආයෝජන සහ හවුල් ව්‍යාපාර සාදරයෙන් පිළිගනිමු, නමුත් අපගේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව නැති කරගෙන නොවේ. ඉන්දියාව සඳහා උපාය මාර්ගික ආරක්ෂක ගැටලුවක් වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරයි. අපගේ විදේශ ප්‍රතිපත්තියේ ද අවධානය යොමු කළ යුතු අංශ වන්නේ මේවා ය.

නෝනාවරුනි, මහත්වරුනි,

මේ පසුබිම තුළ අපට (ඉන්දියන් සාගරයේ වෙරළාසන්න රාජ්‍යයන්ට) සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද? ඉදිරි දින 3 තුළ දී අවධානය යොමු කරන ලෙස අපගේ මණ්ඩලයෙන් අපි ඉල්ලා සිටින්නේ කුමන කරුණු පිළිබඳව ද? කලාපය ඇතුළත සිට ඉන්දියානු සාගරය පිළිබඳව විවේචනාත්මක ලෙස ප්‍රත්‍යාවලෝකනය කිරීමයි. ඉන්දියානු සාගරය පරිවරණය කිරීමට අපි කැමැත්තෙමු. තානාපති ගුණතිලක මැතිතුමා සඳහන් කළේ 1971 දී ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස නම් කිරීම සඳහා අප දායක වූ බවයි. අපට අවශ්‍ය වූයේ බල එදිරිවාදිකම් සඳහා හිමිකම් පෑමක් සහ එවැනි එදිරිවාදිකම්වලට සහාය දැක්වීම සඳහා කිසිදු පදනමක් නොමැතිව, න්‍යෂ්ටික බබින් තොර සාගරයක් නිර්මාණය කිරීමය. එතැන් පටන්  අවුරුදු 49 ක් වේගයෙන් ඉදිරියට කල්පනා කර බැලුවහොත්, අපි දැන් පැමිණ සිටිනුයේ සත්‍ය වශයෙන්ම අප සිටීමට අපේක්ෂා නොකළ තැනටයි. අවම වශයෙන් මෙම තත්ත්වය, දැන් පවතින තත්ත්වයෙන් ඔබ්බට යාම වළක්වා ගනිමු. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සාමය හා ස්ථාවරභාවයයි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපට ඉදිරියට යා හැකි එකම මාර්ගය වන්නේ එයයි. ආචාරධර්මීය හා තිරසාර ආකාරයකින් ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ධනය නිර්මාණය කළ යුතුය. 2030 වන විට ආර්ථික සහයෝගීතාවය තුළින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අරමුණයි. ගෝලීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමටත් සාගරය හරහා ගෝලීය සැපයුම් දාමයේ ‘කේන්ද්‍රස්ථානයක්’ ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමටත් අපට අවශ්‍ය ය. සියලු වෙරළාසන්න රාජ්‍යයන් සහ සියලු මහා බලවතුන් අතර ආරක්ෂක සහයෝගීතාවය මෙන්ම, ඇත්ත වශයෙන්ම සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම ද අපට අවශ්‍ය වේ. විශේෂයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශවල තාක්‍ෂණික මෙහෙයුම් අපට අවශ්‍ය ය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, සියල්ල ඇතුළත් වීම මත මිස සුවිශේෂත්වය මත පදනම් නොවූ හවුල්කාරිත්වයන් සහ සියලු ජාතීන් විසින් සහයෝගීතාවයේ සැබෑ ස්වරූපයෙන් ගෝලීය වගකීම් අප සමඟ බෙදා ගැනීම, අපගේ අපේක්ෂාවයි.

ඉන්දියානු සාගරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ හෝ විවෘත, සියල්ල ඇතුළත්, විනිවිද පෙනෙන, සහයෝගී සහ නීති මත පදනම් වූ සාගරයක් වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. ආරක්ෂාව, රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික ව්‍යුහය සහ අදාළ කලාපීය ආරක්ෂක යාන්ත්‍රණය සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය. ඉන්දියන් සාගර කලාපය සමුද්‍රීය ආසියාවේ සිට මහද්වීපික ආසියාව බවට පරිවර්තනය කිරීම සඳහා අපට සන්ධාන හා හවුල්කාරිත්වයන් අවශ්‍ය වේ. අප සෙසු ලෝකය සමඟ වඩාත් සම්බන්ධ විය යුතුය. ඉන්දියන් සාගර කථාවස්තුවක් සහ ඉන්දියන් සාගර සමුද්‍රීය උපාය මාර්ගයක් සඳහා තීරණාත්මක අවශ්‍යතාවයක් පවතින අතර, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු මෙය සාක්ෂාත් කරගත හැකි එක් වේදිකාවක් බව මම පෞද්ගලිකව විශ්වාස කරමි.

ඉතින් නෝනාවරුනි, මහත්වරුනි,

මේ කැළඹිලි සහිත කාලය තුළ දී විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ හරය වන්නේ අනෙක් රට සමඟ පවතින සම්බන්ධතාවය; ජීවිතය ද, සතුරා සහ මිතුරා ද වන බවයි. ඉන්දියානු සාගර කලාපය තුළ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කටයුතු උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුය. “සැතපුම් දහසක ගමනක් ආරම්භ වන්නේ පළමු පියවරෙන්” යැයි චීන කියමනක් තිබේ. පාත්ෆයින්ඩර් පදනම යටතේ සහ අද සිටින සියලුම විද්වතුන් වන අප විසින්, දිගු ගමනක තවත් පියවරක් පෙරට තබා ඇති බව මම විශ්වාස කරමි. මෙම වැඩමුළුවට සහ එහි සංවිධායකයින්ට මාගේ මුළු හදවතින්ම සියලු සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත්වූ ජෝ බයිඩන් මැතිතුමා වෙතින් ලබාගත් උපුටා දැක්වීමකින් මගේ ප්‍රධාන දේශනය අවසන් කිරීමට මම කැමැත්තෙමි.“ඔබ විරුද්ධවාදීන් විය හැකිය, නමුත් ඔබ සතුරන් විය යුතු නොවේ”.

බොහොම ස්තූතියි. ඔබ හමුවීම මට ගෞරවයක් වන අතර ඔබ සැමට සුබ පතමි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close