විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 3,221ක් ජනනය කොට ඇත

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 3,221ක් ජනනය කොට ඇත

විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ වියදම් සම්බන්ධයෙන් 2022 මැයි 20 වැනිදින පළ වූ පුවත් ලිපියක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භ වූ අවධියේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය වියදම් අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල කාර්ය මණ්ඩලයට හිමි දීමනා විශාල වශයෙන් අඩු කිරීම සහ අත්හිටුවීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වර්ෂය සඳහා වූ වාර්ෂික අයවැය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 1,314ක් ඉතිරි කරගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට හැකි විය.

එවැනි පියවර ඉදිරියට ගෙන යන අතරතුර කිසිදු ප්‍රාග්ධන වියදමක් නොදැරීම, විදේශ දූත මණ්ඩලවල සේවය කරන නිලධාරීන් 40 දෙනෙකු ආදේශ කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වෙත මාරු කිරීම, තෝරා ගත් දූත මණ්ඩල තාවකාලිකව වසා දැමීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් වියදම් අවම කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා ලදි. තවද, මුදල් අමාත්‍යාංශය 2022 අප්‍රේල් 26 වැනි දින නිකුත් කළ අංක 3/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදාළ උපදෙස්වලට අනුකූලව වියදම් තවදුරටත් සීමා කරන ලෙස විදේශ රටවල සිටින සියලුම දූත මණ්ඩල ප්‍රධානීන්ට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ද උපදෙස් ලබා දී ඇත.

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල නඩත්තු කටයුතු හා වැටුප් ගෙවීම් සඳහා 2022 වර්ෂයේ මුල් මාස හතර තුළ ඇ. ඩොලර් මිලියන 10.2ක් වැය කරන ලදි. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂය තුළ රුපියල් මිලියන 3,221 ක ආදායමක් ජනනය කොට ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය කොන්සියුලර් සේවා සැලසීම හරහා රු. මිලියන 675 ක් ජනනය කොට ඇති බව මෙම අමාත්‍යාංශය දන්වා සිටියි.

සත්කාරක රටවල ජාතිකයන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීම සහ විදේශ සබඳතා පැවැත්වීම අරමුණු කරගනිමින් විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජන පවත්වාගෙන යාම විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා නියෝජනයන් හා සබැඳි අත්‍යවශ්‍ය අංගයක් බව මෙම අමාත්‍යාංශය දන්වා සිටියි.

වියදම් තවදුරටත් අවම කිරීම සම්බන්ධයෙන් පවත්නා අතිරේක මාර්ග ගවේෂණය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close