මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැනඩාව වෙත සිය දැඩි විරෝධය පළ කරයි

මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැනඩාව වෙත සිය දැඩි විරෝධය පළ කරයි

ශ්‍රී ලංකාවේ සිදු වූ බව සඳහන් වන දමිළ ජන සංහාරය පිළිබඳ යෝජනාවක් 2022 මැයි 18 වැනි දින කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

2022 මැයි 20 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස් ඇමැන්ඩා ස්ට්‍රෝහන් මහත්මිය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති හමුවකදී, මෙම යෝජනාවේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කළ විදේශ අමාත්‍යවරයා, මෙම සාවද්‍ය අන්තර්ගතය කැනේඩියානු රජයේ ස්ථාවරය වන “ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට කිසිවක් අනාවරණය වී නොමැත” යන්න සමඟ මූලික වශයෙන් නොගැළපෙන බවත් ඊට පරස්පර වන බවත් අවධාරණය කළේය. නිශ්චිත නෛතික අර්ථ සහිත එවැනි තාක්ෂණික යෙදුම් ප්‍රවේශමෙන් සහ වගකීමෙන් යුතුව භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍ය පීරිස් මැතිතුමා, පෙනී යන පරිදි කැනේඩියානු රජයේ ඕනෑම ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු එය අනුමත කිරීම හේතුවෙන් මතුවන අන්තරායන් පිළිබඳව ද සඳහන් කළේය.

එම යෝජනාවේ ඇති සාවද්‍ය සහ අගතිගාමී ස්වභාවය මෙන්ම එවැනි හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව පොදු සන්දර්භය තුළ ජනිත වන නිෂේධාත්මක අදහස් සැලකිල්ලට ගත් විදේශ කටයුතු අමාත්‍යවරයා, එම යෝජනාවේ අඩංගුවැරදි නිවැරදි කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස කැනේඩියානු රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර දශක හයකට අධික කාලයක් මුළුල්ලේ පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සැලකිල්ලට ගනිමින් මෙම දෙවැනි ඉල්ලීම ඉදිරිපත් කරන ලදි.

මීට ප්‍රතිචාර දැක්වූ වැඩ බලන මහ කොමසාරිස් ස්ට්‍රෝහන් මහත්මිය, කැනඩාවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වූ පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවේ බැඳීම් රහිත, ව්‍යවස්ථාමය නොවන ස්වභාවය පිළිබඳව සඳහන් කළේය. නිසික්‍රියාමාර්ග ගැනීම සඳහා දේශපාලනික පියවරෙහි අන්තර්ගතය කැනඩාවේ විදේශ කටයුතු, වෙළඳ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ද එතුමිය එකඟ වූවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close