විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ලෝවේනියාවේ පැවැති බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුව - 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ලෝවේනියාවේ පැවැති බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුව – 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙයි

Image 01 (1)

ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය කාල් එර්යාවෙක් මහතාගේ ඇරයුමෙන්, 2018 සැප්තැම්බර් 10-11 යන දිනවල පැවැති 13 වැනි බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුවට සහභාගී වීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ලෝවේනියාවේ සංචාරයක නිරත විය. එම සමුළුවේ තේමාව වූයේ “බෙදීම් යා කිරීම” යන්නයි.

රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා “තනිව අප අසාර්ථකය : තිරසර අනාගතයක් උදෙසා එක්ව කටයුතු කිරීම” යන මැයෙන් පැවැති සාකච්ඡාවේ, සාකච්ඡා මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය. මෙම සාකච්ඡා මණ්ඩලය රාජ්‍යයන්, විද්වතුන්, සිවිල් සමාජය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් විවිධ රටවලින් සහභාගී වූ ඉහළ පෙළේ කථිකයන්ගෙන් සමන්විත විය.

දිගුකාලීන බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා වන සාර්ථක විසැඳුම් ලෙස කෘෂිකර්මාන්තයේදී ජෛව පොහොර භාවිතය ඇතුළු, ජල විදුලිය, සුළං හා සූර්ය ශක්තිය ආදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී අවධානය යොමු කළේය. ස්වභාවික පරිසරය පෘථිවියේ මූලික සම්පත වන බැවින් ස්වභාවික පරිසරය හා එහි ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වීය. සමුද්‍ර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමද ගෝලීය ප්‍රමුඛතාව හිමිවිය යුතු කරුණක් බව රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික වශයෙන් රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා ස්ලෝවේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අන්ද්‍රෙයි ලොගාර් මහතා හමුවිය. දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, සංස්කෘතික, විද්‍යාත්මක, අධ්‍යාපනික වෙළෙඳ හා ආයෝජන අංශයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. බහුපාර්ශ්වීය සමුළුවලදී පොදු අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

බ්ලෙඩ් උපායමාර්ගික සමුළුව අතරතුරදී, රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා ආජෙන්ටිනාවේ හිටපු විදේශ ඇමැතිනි සුසානා මල්කෝරා මහත්මියද මුණගැසුණු අතර දකුණු-දකුණු සහයෝගීතා රාමුව තුළ පොදු අභිලාෂයන් ප්‍රවර්ධනය කළ හැකි මං පිළිබඳව සාකච්ඡා කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හා තිරසර සමාජ-ආර්ථික සංවර්ධනය සහතික කිරීමට ජාතික සම්මුතිවාදී රජය විසින් ගන්නා ලද පියවර පිළිබඳව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා විස්තරාත්මක දළ විශ්ලේෂණයක්ද ඉදිරිපත් කළේය.

රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා මැසිඩෝනියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අන්ද්‍රෙයි ෂෙර්නොව්ස්කි මහතාද මුණගැසුණු අතර ශ්‍රී ලංකාව හා මැසිඩෝනියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සමාලෝචනයක් සිදුකළේය.

ඔස්ට්‍රියාවේ සිට අක්ත ගන්වනු ලැබූ ස්ලෝවේනියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය හා තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම රැස්වීම්වලට රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 සැප්තැම්බර් 21 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close