විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නොවැම්බර් 23 වැනි දින ඩකා නුවර දී, බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා හමුවිය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය කවුන්සිලයේ (COM) රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශයට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් දියුණු කිරීම සඳහා දෙරට අතර ශක්තිමත් නැව් සේවා සහ ගුවන් සබඳතා ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව සිය මිත්‍ර පාර්ශ්වය සමඟ සාකච්ඡා කළේ ය. පසුගිය වසර කිහිපය තුළ බංග්ලාදේශ සංචාරකයන් මිලියන 2.5 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව සහ මාලදිවයින වැනි අසල්වැසි රටවල සංචාරයේ නිරතව ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා බංග්ලාදේශයේ සංචාරක වෙළඳපොළ තුළ පවතින ශක්‍යතාව, අමාත්‍ය මොමන් මැතිතුමා විසින් මෙහිදී අවධාරණය කරන ලදී. චැටෝග්‍රම්, කොළඹ සහ මාලේ යන වරායන් එකිනෙක සම්බන්ධ කිරීම තුළින් සංචාරක ව්‍යාපාරය තවදුරටත් දියුණු කළ හැකි බවද අමාත්‍යවරු දෙපළ තවදුරටත් සඳහන් කළහ.

ජාත්‍යන්තර වේදිකා හමුවේ දෙරට එකිනෙකාට දැක්වූ සහයෝගය පිළිබඳව සිහිපත් කළ විදේශ කටයුතු අමාත්‍යවරු දෙපළ, ඒ සඳහා දෙරට ලබා දෙන සහයෝගය යළිදු තහවුරු කළහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී බංග්ලාදේශය පිරිනමන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ද අමාත්‍ය සබ්රි මැතිතුමා සිය කෘතඥතාව පළ කළේ ය. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ විදේශ ආයෝජකයන් සඳහා රට තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද අමාත්‍ය සබ්රි මැතිතුමා අමාත්‍ය මොමන් මැතිතුමා දැනුම්වත් කළේ ය. බංග්ලාදේශයේ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයන් ලබා දෙන දායකත්වය අමාත්‍ය මොමන් මැතිතුමාගේ පැසසුමට ලක්විය. ඵලදායී සහයෝගීතාව තහවුරු කිරීම සඳහා දෙරට අතර අමාත්‍ය මට්ටමේ ඒකාබද්ධ උපදේශක කමිටුවක් පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමට ද අමාත්‍යවරු දෙපළ සිය එකඟත්වය පළ කළහ.

ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් වර්ධනය කිරීම සඳහා යෝජිත වරණීය වෙළඳ ගිවිසුම (PTA) අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍ය මොමන් මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන, ඖෂධ සහ මිරිදිය මාළු වෙළඳාම ආශ්‍රිත බොහෝ අවස්ථා බංග්ලාදේශය තුළ පවතී. සංවර්ධනය වෙමින් පවතින ආයෝජන සැලකිල්ලට ගනිමින්, ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ද අමාත්‍යවරු දෙපළ සිය කැමැත්ත පළ කළහ.

දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව තෘප්තියට පත් වූ අමාත්‍යවරු දෙපළ, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 නොවැම්බර් 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close