විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මොරිෂස් හි පැවැත්වෙන බටහිර ඉන්දියන් සාගරයේ සමුද්‍ර ආරක්ෂාව සහ ආරක්ෂණය පිළිබඳ 3 වන අමාත්‍ය සමුළුවට සහභාගී වීමට නියමිතය

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මොරිෂස් හි පැවැත්වෙන බටහිර ඉන්දියන් සාගරයේ සමුද්‍ර ආරක්ෂාව සහ ආරක්ෂණය පිළිබඳ 3 වන අමාත්‍ය සමුළුවට සහභාගී වීමට නියමිතය

මොරිෂස් හි විදේශ කටයුතු, කලාපීය ඒකාබද්ධතා සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මනීෂ් ගෝබින් මහතාගේ ආරාධනය පරිදි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2023 නොවැම්බර් 16 වැනිදා මොරිෂස්‌හි දී පැවැත්වෙන බටහිර ඉන්දියන් සාගරයේ සමුද්‍ර ආරක්ෂාව සහ ආරක්ෂණය පිළිබඳ 3 වන අමාත්‍ය සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

බටහිර ඉන්දීය සාගරය ගෝලීය සාගර අවකාශය සමඟ බහු අන්තර් සම්බන්ධතා සහිත වැදගත් ගෝලීය වෙළඳ සහ වාණිජ කේන්ද්‍රස්ථානයක් වේ. නීතිවිරෝධී ගමනාගමනය සහ ජාවාරම්, නීති විරෝධී, වාර්තා නොවූ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම, මිනිස් ජාවාරම සහ සාගර දූෂණය ඇතුළු සමුද්‍රීය ආරක්ෂාවට තර්ජනයක් වන තවත් ගැටළු රාශියකට කලාපය මුහුණ දෙමින් පවතී.

මෙම සන්දර්භය තුළ, 2018 දී සහ 2019 දී පැවති සමුළු 2 කින් අනතුරුව, මොරිෂස් රාජ්‍යය විසින් බටහිර ඉන්දියන් සාගරයේ සමුද්‍ර ආරක්ෂාව සහ ආරක්ෂණය පිළිබඳ 3 වන අමාත්‍ය සමුළුවක් කැඳවීමට මූලිකත්වය ගෙන ඇත. කලාපීය සමුද්‍රීය ශක්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ඉහළ මට්ටමේ සංවාදයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් ලෙස ක්‍රියා කරයි.

මොරිෂස් හි රැඳී සිටින කාලය තුළ අමාත්‍ය සබ්රි, අමාත්‍ය ගෝබින් සමඟ දෙරට අතර සමීප සබඳතා වර්ධනය කර ගැනීම සඳහා වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට නියමිතව ඇති අතර IORA අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ සභාපතිවරයා ලෙස, ශ්‍රී ලංකාව IORA හි සභාපතිත්වය භාර ගනිමින් 2023 ඔක්තෝබර් 9 සිට 11 දක්වා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ 25 වන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාරක සභා රැස්වීමේ දී සහ 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, IORA හි අනාගත දිශානතිය සාකච්ඡා කිරීම උදෙසා මොරිෂස් හි ඉන්දියානු සාගර ආශ්‍රිත රටවල සංගමයේ (IORA) ලේකම් කාර්යාලය වෙත සංචාරයක නිරත වීමට ද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 14

Print Friendly, PDF & Email
Please follow and like us:

Close