විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාව සමඟ ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාව සමඟ ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

කොළඹ සිටින ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ටි න්ගුරා අර්ඩියාසා මැතිතුමා දෙසැම්බර් 17 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීය. සාකච්ඡා අතරතුර දී අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අයුරින් වෙළඳ සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම සම්භාවනීය දෙපළ අවධාරණය කළහ.

දෙරට අතර පවත්නා දීර්ඝකාලීන සබඳතා පිළිබඳව නැවත අවධාරණය කළ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, අතීතයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාලවල දී ඉන්දුනීසියාව දැක්වූ ශක්තිමත් මිත්‍රත්වය හා සහයෝගය අගය කළේය.

ඉන්දුනීසියානු තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික වේදිකාවල පවතින මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් පිළිගත් අතර, වර්තමාන සබඳතා තවදුරටත් පුළුල් වෙමින් සමකාලීන වැදගත්කමක් ඇති අංශ කෙරෙහි යොමු වනු ඇතැයි අපේක්ෂා කළේය. නීතිවිරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය හා මනෝචිකිත්සක ඖෂධ ජාවාරම්වලට එරෙහි සහයෝගීතාව, හා සමුද්‍ර හා ධීවර කටයුතු පිළිබඳ සහයෝගීතාව සහ තිරසාර ධීවර පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වර්තමාන නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ (IUU) මසුන් ඇල්ලීම පිළිබඳ ස්වේච්ඡා ජාත්‍යන්තර සහයෝගීතාව යන අංශවල වැඩි දියුණු කළ සහයෝගීතාවයේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

මෑත අතීතයේ දී, කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ දී ඉන්දුනීසියානු ජාතිකයන් සියරට පැමිණවීම සඳහා ලබා දුන් ආධාර පිළිබඳව තානාපති අර්ඩියාසා මැතිතුමා ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ වෙළඳ හවුල්කරුවන් වී සිටිති. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සමස්ත වෙළඳ පිරිවැටුම 2017 සිට ඉහළ යමින් පවතී. 2019 දී ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවට කරන අපනයනවල වටිනාකම වසරින් වසරට 9.54% කින් ඉහළ ගොස් තිබේ. 2018 දී ඇමරිකානු ඩොලර් මිලියන 427.55 ක් ලෙස පැවති ආනයනවල වටිනාකම, 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 428.27 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. 2019 දී 0.33% ක ප්‍රතිශතයක් හිමි කරගත් ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවේ 45 වැනි අපනයන වෙළඳපොළ විය. ශ්‍රී ලංකාවේ සිට ඉන්දුනීසියාව දක්වා අපනයනය කරන ප්‍රමුඛතම භාණ්ඩය ඇඟලුම් වන අතර, එය 2019 දී ඉන්දුනීසියාවට කරන ලද මුළු අපනයනයෙන් 19.56% ක් විය. ඉන්දුනීසියාව 2019 දී 2.2% ක ප්‍රතිශතයක සහිතව ශ්‍රී ලංකාවේ 9 වන ආනයන හවුල්කරුවා විය.

සිමෙන්ති යනු ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාව වෙත කෙරුණු ප්‍රධාන ආනයන භාණ්ඩය වන අතර, එය 2019 දී ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද මුළු ආනයනයෙන් 11.05% කි. ඉන්දුනීසියාවේ වර්ධනය වෙමින් පවතින ඉල්ලුමේ රටාව හා ශ්‍රී ලංකාවේ තිරසාර සැපයුම් ධාරිතාව පිළිබඳව සලකා බැලීමේ දී, ඉන්දුනීසියාව සඳහා කුරුඳු, කරාබු නැටි, කළු තේ, තේ සහ රබර් ටයර් නිෂ්පාදන තවදුරටත් පුළුල් කළ හැකිය. ශ්‍රී ලංකාව 1996 ජුනි 10 වැනි දින ඉන්දුනීසියාව සමඟ ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුමක් අත්සන් තබන ලද අතර, එය 1997 ජූලි 21 වැනි දින සිට බලාත්මක විය. ශ්‍රී ලංකාව 1993 පෙබරවාරි 03 වන දින ඉන්දුනීසියාව සමඟ ද්විත්ව බදු මඟ හැරවීම පිළිබඳ ගිවිසුමක් අත්සන් තැබූ අතර, එය 1995/1996 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. ඉන්දුනීසියාව 2019 දී ශ්‍රී ලංකාවේ 34 වැනි ආයෝජන සහකරු ලෙස ශ්‍රේණිගත වී තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව සමඟ පුළුල් සබඳතාවයක් පවත්වා ගෙන යන අතර, එය වාර්තා ගත ඉතිහාසයේ ආරම්භක යුගය දක්වා දිව යයි. යටත් විජිත යුගයට පෙර ඓතිහාසික වාර්තාවල දැක්වෙන්නේ, ශ්‍රී විජය අධිරාජ්‍යයේ රජු වූ විජයොතුංග රජතුමා, ශ්‍රී ලංකාවේ විජයබාහු රජතුමා (1055-1110) සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවයි. ශ්‍රී ලාංකික රජවරුන් වන කාශ්‍යප සහ මහේන්ද්‍ර රජවරුන්ට, ජාවා රට සමඟ සමීප සබඳතාවක් පැවති බව ඉතිහාසය තවදුරටත් සඳහන් කරයි. ආගමික සම්බන්ධතාවය මීට වඩා විශාල වූ අතර ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ බලපෑම ජාවාහි සහ ජොග්ජකර්තා හි සෙලෙබ්ස් සහ බොරෝබුදුර් යන ස්ථානවල දක්නට ලැබෙන විවේකී බුද්ධ රූපවල පැහැදිලිව දැකගත හැකිය. කෝට්ටේ රාජධානි සමයේ දී හය වැනි පරාක්‍රමබාහු රජු (1411-1466) විසින් විශේෂ ආගමික සබඳතා පවත්වා ගෙන යනු ලැබීය.

ඉන්දුනීසියාවේ තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ද මෙහි දී තානාපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක් විය. මෙම රැස්වීමට අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු අංශයේ නිලධාරීන් ද සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 19

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close