විදේශ අමාත්‍යතුමා චීන තානාපතිවරයා හමුවෙයි

විදේශ අමාත්‍යතුමා චීන තානාපතිවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජුනි 30 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී ෂෙන්හොංග් මැතිතුමා හමුවිය.

සුහද පිළිසඳරෙන් අනතුරුව, අමාත්‍ය පීරිස් මැතිතුමා චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය අගැයීමට ලක් කළේය. රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇතිකර තිබෙන ඉන්ධන, ආහාර, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳවත් විදේශ අමාත්‍යවරයා චීන තානාපතිවරයාට විස්තර කළේය. මෙම අභියෝග ජය ගැනීම සඳහා ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා පැවසීය.

‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ වෙනුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව නැඟී සිටින බවට චීන තානාපතිවරයාට සහතික වූ වි‍දේශ අමාත්‍යවරයා, චීනයේ ස්වෛරීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම සඳහා නොසැලී සහය වන බවට ප්‍රතිඥා දුන්නේය.

රුවන්ඩාවේ කිගාලි හි දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම අතරතුර දී තමන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අවශ්‍යවන සහාය පිළිබඳව රටවල් 12 ක රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මූල්‍යමය සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡා මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වඩාත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කොට ඇති පියවර පිළිබඳව ද එතුමා තානාපතිවරයා දැනුවත් කළේය.

චීන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සහ ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ පිළිබඳ එහි අඛණ්ඩ ස්ථාවරය අගය කළේය.

හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා චීන රජය ශ්‍රී ලංකාව සමඟ එක් වී සිටින බවට තානාපති චී මැතිතුමා සහතික විය.

වි‍දේශ අමාත්‍යවරයා, චීන රජය විසින් ලබා දෙන නොමසුරු සහාය පිළිබඳව ශ්‍රී ලංකාවේ නොමඳ කෘතඥතාව පළ කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම රැස්වීම සඳහා සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close