විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න ඊජිප්තුවෙන් නව ක්‍රමයක් හඳුන්වා දෙයි

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න ඊජිප්තුවෙන් නව ක්‍රමයක් හඳුන්වා දෙයි

කොවිඩ්-19 වසංගතය ලොව පුරා සංචාරක කර්මාන්තයට අඛණ්ඩව පහර දීම නිසා මුළු ලොවම එකතැන රැඳී සිටින සමයක, “Go on a Couch Safari” (ඔබේ සුව අසුනේ හිඳිමින්ම වන සතුන් නැරඹීමේ චාරිකාවක යෙදෙන්න) නම් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන සංචාර මඟින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නව මානයකින් ඉදිරියට ගෙන යාමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව 2020 නොවැම්බර් 04 වැනි දින ඇරඹුණු සජීවී අන්තර්ජාල චාරිකාවලට සමගාමීව, ඊජිප්තු සංචාරකයින් ශ්‍රී ලංකා “සන්නාමය” සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට උනන්දු කරවීම සහ නරඹන්නන් සඳහා ශ්‍රී ලංකාවේ දේශසීමා විවෘත වූ පසුව ඔවුන්ගේ “යා යුතුම” ගමනාන්තය ලෙස එය තබා ගත හැකිවන ධනාත්මක අත්දැකීමක් ලබා දීම සඳහා ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ යෙදෙන සහයෝගී ප්‍රයත්නයක් ලෙස නයිල් ටීවී ඉන්ටර්නැෂනල් ආයතනය සමඟ අත්වැල් බැඳගත්තේය. ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය 2020 නොවැම්බර් 09 වැනි දින ඊජිප්තුවේ නයිල් ටීවී ඉන්ටර්නැෂනල් මඟින් සජීවීව විකාශනය කරන ලද “තග්‍රීඩ් හුසේන් සමඟ විශේෂ සාකච්ඡාව” නම් සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින්, “Go on a Couch Safari” නම් අන්තර්ජාල සංචාර වැඩසටහන පිළිබඳ තොරතුරු ආවරණයක් ලබා දුන්නාය.

තොරතුරු ලබා දීමේ ස්වභාවයකින් යුත් ප්‍රමුඛ පෙළේ ඊජිප්තු ජාතික රූපවාහිනී නාලිකාවක් වන 1994 දී පිහිටුවන ලද නයිල් ටීවී ඉන්ටර්නැෂනල් ආයතනය, දේශපාලනය, ආර්ථික විද්‍යාව, සංස්කෘතිය, සංචාරක කටයුතු හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල විවිධ වැඩසටහන් ඉදිරිපත් කරයි.

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරුණු චාරිකාවල උපුටා ගත් කොටස් සහ ශ්‍රී ලංකාවේ විශේෂිත සංචාරක ආකර්ෂණ මෙම වැඩසටහන අතරතුර දී ප්‍රදර්ශනය කරන ලද අතර, එවැනි ගමනාන්ත පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සමඟ මෙම සජීවී විකාශන වැඩසටහනේ අරමුණු ද සංක්ෂිප්තව නිරූපණය කරන ලදී. සෑම දෙයක්ම ලබා දිය හැකි කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව, විශේෂයෙන් පශ්චාත් කොවිඩ් තත්ත්වය මත, සොබාදහම පදනම් කරගත් සංචාරක කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, සංචාරකයින්ට කඳවුරු බැඳීම, කඳු නැගීම, පා ගමන් යාම, බයිසිකල් පැදීම යනාදිය කළ හැකි අතර, ආයුර්වේද ඇතුළු සුවතා සංචාරක කටයුතුවල ද යෙදිය හැකි බව කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය යළි යළිත් ප්‍රකාශ කළාය. දෙරටේ පුරවැසියන් එකිනෙකා හමුවීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා ඊජිප්තු රජය සහ ඊජිප්තු සංචාරක අධිකාරිය සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රනාන්දු මහත්මිය දැඩි උනන්දුවක් දැක්වූ අතර, එවැනි මොහොතක මෑතක දී ශ්‍රී ලංකාව වෙත ආරම්භ වූ ඊජිප්තු භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන්, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර නිතිපතා ගුවන් ගමන් ආරම්භ කිරීමේ මූලික පියවරක් වනු ඇති බව ද සඳහන් කළාය.

මීට අමතරව, ඇය සිය සම්මුඛ සාකච්ඡාවේ දී මංගල සංචාරක ව්‍යාපාරය සහ MICE (රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන) වැඩසටහන් කොවිඩ් තත්ත්වය නොතකා ප්‍රවර්ධනය කළ හැකි අංශයක් ලෙස තවදුරටත් අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු සඳහා විදේශ ආයෝජන තවමත් පැමිණෙමින් තිබෙන බවත් සමහර විදේශ ව්‍යාපෘති තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් පැවසුවාය. ආගමන අයදුම්පත සමඟ අන්තර්ගත කොට ඇති සංචාරය පිණිස භාවිතා කෙරෙන අන්තර්ජාලමය සංචාරක ප්‍රවර්ධන යෙදවුමක් (online travel app) පිළිබඳව පැහැදිලි කළ ප්‍රනාන්දු මහත්මිය, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවන විවිධ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, එහි ඊළඟ අනුවාදය යාවත්කාලීන කෙරෙමින් පවතින බව ද සඳහන් කළාය.

මෙම වැඩසටහන පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

https://www.youtube.com/watch?v=kCr3L3lr2p8&feature=youtu.be

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කයිරෝ

2020 නොවැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close