ලෝක ආහාර වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

ලෝක ආහාර වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ලෝක ආහාර වැඩසටහනේ (WFP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් අයිලීෆ් මහතා 2022 සැප්තැම්බර් 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

ජාතික පෝෂණ වැඩසටහන් සහ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහය ලබා දීම, ආහාර ලබාගැනීම සහ සපයා දීම සහතික කිරීම සඳහා ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුව සමඟ එක්ව, කම්පනයට ප්‍රතිචාර දැක්විය හැකි ආරක්ෂිත ජාල වැඩසටහන් සංවර්ධනය කිරීම යනාදිය ඔස්සේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. මෙරට මුහුණ දෙන අභියෝගවලින් යථා තත්ත්වයට පැමිණීම සඳහා දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන් පිළිබඳව ද එතුමා කලාපීය  අධ්‍යක්ෂවරයා දැනුම්වත් කළේ ය.

මේ වන විට මෙරට ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම්වත් කළ කලාපීය අධ්‍යක්ෂවරයා, විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සඳහන් කළ අතර, මෙම අභියෝගාත්මක කාලය තුළ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකා රජය සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසී ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 සැප්තැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close