රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සංචාරක කටයුතු හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව යුක්රේන සගයන් සමඟ සාකච්ඡා කරයි

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සංචාරක කටයුතු හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව යුක්රේන සගයන් සමඟ සාකච්ඡා කරයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ ශක්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2021 සැප්තැම්බර් 8 සිට 10 දක්වා යුක්රේනයේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ දී රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය සහ සංචාරක ක්‍රියාකරු ජාලකරණ සැසියකට ද සහභාගී විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා යුක්රේනයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සහ සංචාරක සංවිධාන නියෝජිතයින් සහභාගී වූ අතර, යුක්රේනයේ සංචාරකයන් සඳහා පිළිගැන්වීම පිණිස මෙරට සතු ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, විශේෂයෙන් නැගී එන සංචාරක ස්ථාන සහ සංචාරක අත්දැකීම් ඉස්මතු කිරීම සඳහා වැදගත් අවස්ථාවක් එමඟින් උදා කර දුන්නේය.

රාජ්‍ය ඇමති බාලසූරිය මැතිතුමා යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඩිම්ට්‍රෝ සෙනික් මැතිතුමා, ආර්ථික සංවර්ධන, වෙළඳ හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය තරාස් කච්කා මැතිතුමා සහ යුක්රේනයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජෙනඩි චයිසිකොව් මහතා සහ වාණිජ මණ්ඩල සාමාජිකයින් ද හමුවී, විශේෂයෙන් කෘෂිකර්මාන්තය, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති රිස්වි හසන් මැතිතුමා, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් දේශාන් ගෝනවෙල මහතා ද සහභාගී වූහ.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය

2021 සැප්තැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close