ඉතාලියේ බොලොඤ්ඤා හි පැවති ජී 20 අන්තර් ආගමික සංසදයේ ‘විදේශ ප්‍රතිපත්තිය සහ ආගම’ පිළිබඳ අමාත්‍ය සැසිවාරයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කළ ප්‍රකාශය

ඉතාලියේ බොලොඤ්ඤා හි පැවති ජී 20 අන්තර් ආගමික සංසදයේ ‘විදේශ ප්‍රතිපත්තිය සහ ආගම’ පිළිබඳ අමාත්‍ය සැසිවාරයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කළ ප්‍රකාශය

සභාපතිතුමනි, මණ්ඩලයේ සම්භාවනීය සාමාජිකවරුනි, නෝනාවරුනි, මහත්වරුනි.

මෝල්ටාවේ අමාත්‍යවරයා සහ පීඨාධිපතිනිය යන දෙදෙනාම ඔවුන්ගේ ප්‍රකාශවල දී ආගම සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධය පිළිබඳව කතා කළහ. පැහැදිලිවම එහි සම්බන්ධයක් තිබේ. පීඨාධිපතිනිය ඇගේ අවසන් ප්‍රකාශයේ දී ‘නරුම’ යන වචනය ද භාවිත කළාය. නරුමවාදය සහ සැකය ද බොහෝ සෙයින් පැහැදිලිව දක්නට ලැබෙන අතර, ඒ සඳහා මූලික හේතුවක් ඇතැයි මම සිතමි. බොහෝ විට ආචාරධර්මීය හෝ සදාචාරාත්මක සාධක පිළිබඳව නොසලකමින් විදේශ ප්‍රතිපත්ති තීරණ ගනු ලබන බවට පුළුල් විශ්වාසයක් පවතී. මෙය යමෙකු තමන් අයත් කණ්ඩායම වෙත පවතින පක්ෂපාතීත්වය පිළිබඳ ගැටළුවක් වන අතර, ඔහු විවේචනයකින් තොරව එම කණ්ඩායම විසින් නියම කරනු ලබන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. යම්කිසි අවස්ථාවක දී තමන්ගේම හෘද සාක්ෂිය සෙවීමට හෝ වැරදි දේ - හරි දේ තීරණය කිරීම සඳහා උත්සාහ ගන්නේ නැත.

කිසියම් කාලයක, නොබැඳි ජාතීන් නමින් ඉතා බලවත් ව්‍යාපාරයක් පැවති බව සිහිපත් කිරීම වටිනා බව මම සිතමි. එය තවමත් පවතින නමුත්,  නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ පැවති විශාල ප්‍රාණවත්බව හා ජවසම්පන්න බව හීන වී ගොස් ඇත. එමෙන්ම එම යුගයේ දී ලෝකයේ ඔබේ කොටසේ නායකයෙකු ද ඇත්ත වශයෙන්ම එහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. යුගෝස්ලාවියාවේ ජෝශප් බ්‍රෝස් ටිටෝ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ එක් කුළුණක් විය. ඉන්දියාවේ ජවහර්ලාල් නේරුතුමා වැනි ලෝකයේ විවිධ ප්‍රදේශවල සහ විවිධ සංස්කෘතීන් නියෝජනය කරන ලෝක නායකයින්,  සමඟ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ලෝකයේ මේ ප්‍රදේශය නියෝජනය කළ සයිප්‍රසයේ මැකාරියෝස් අගරදගුරුතුමා  ද අපට සිටියේය. ඔබේ සර්ව ආගමික සංවාදය ලබන වසරේ ඉන්දුනීසියාවේ දී පැවැත්වීමට නියමිතයි. ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්ණෝ මැතිතුමා සහ මගේම රටේ නායකයෙකු වූ, ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද එම ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් කරුවන්ය. ඊජිප්තුවේ නසාර් මැතිතුමා යනාදී වශයෙන්, තවත් සමහර අයගේ නම් ප්‍රසිද්ධය. මෙහි දී,  නොබැඳි ජාතීන්ගේ සමස්ත අදහස වූයේ එක් එක් විදේශ ප්‍රතිපත්ති ගැටළුව පිළිබඳව එහි පවතින සුදුසුකම් මත සළකා බැලීමයි. ඔබ කණ්ඩායමක පූර්ව නිගමනවලට හා සාමාජිකත්‍වයකට නොපැමිණෙන අතර, කණ්ඩායමක් කෙරෙහි විශ්වාසවන්තව සිටීම තමන්ගේ හෘද සාක්ෂිය අභිබවා යමින් එය වෙනස් කරන කරුණක් ලෙස නොසැලකිය යුතුය. ඇත්ත වශයෙන්ම, මෙම ව්‍යාපාරය ආරම්භ වී සමෘද්ධිමත් වූයේ ද්වි-ධ්‍රැවීය ලෝකයක සන්දර්භය තුළ ය.

තවදුරටත් සීතල යුද්ධයක් නොමැති බව පීඨාධිපතිනිය සඳහන් කළාය. මම හිතන්නේ සභාපතිවරයා ද පැවසුවේ තවදුරටත් සීතල යුද්ධයක් නොමැති බවයි. සමහර ආකාරවලින් එය ජීවිතය පහසු කරයි. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ගත්කල, එය ද්වි ධ්‍රැවීය ලෝක පසුබිමක් තුළ වර්ධනය වී ඇත. ඔබ මෙම කඳවුරට හෝ අනෙක් කඳවුරට අනුගත වන්නේ නැත. එක් කාරණයක දී ඔබට මෙම කඳවුර සමඟ එකඟ විය හැකි නමුත්, තවත් කරුණක දී ඔබ එම කඳවුර සමඟ සම්පුර්ණයෙන්ම විරුද්ධ වී ‘නැහැ! අනෙක් කඳවුර නිවැරදියි.’ කිව හැකිය. එම නිසා ඔබේ සිතීමේ නිදහස සහ ක්‍රියා කිරීමේ නිදහස ඔබ විසින්ම සුරකිනු ඇත. දැන් අද අපි ජීවත් වන්නේ ඒක ධ්‍රැවීය ලෝකයක ය. මෙහි තවදුරටත් සටන් වදින කඳවුරු දෙකක් නොමැත. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයට පාදක වන මතවාදය මුළුමනින්ම අදාළ නොවන හෝ යල් පැන ගිය එකක්  බවක් එයින් අදහස් වන්නේ නැත. කිසිසේත්ම එසේ නොවේ. මා සිතන්නේ, අප ජීවත් වන කරදරවලින් පිරුණු ලෝකය දෙස බැලුවහොත්, එම දර්ශනයේ සමහර අංග ඉතා අදාළ වන අතර, සමහර විට ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව පැවති 1960 ගණන්වල දී ඔවුන්ට නොතිබුණු යම් ආකාරයක ආසන්න ස්වභාවයක් අද ඔවුන් තුළ පවතින බවයි. එබැවින් මවිසින් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, ආචාරධර්මීය හා සදාචාරාත්මක වටිනාකම් අනුව විදේශ ප්‍රතිපත්ති තීරණ ගනු ලබන තත්වයක් තහවුරු කර ගැනීම සඳහා සැකය සහ නරුමවාදය පිළිබඳ මෙම මනෝභාවය දුරු කළ යුතු බවයි. එය වැදගත් කරුණක් බව මම සිතමි. ඉන්පසුව එක්සත් ජාතීන් පිළිබඳව ද සඳහන් කෙරිණි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මඟින් භීතියෙන් නිදහස් වීම හා අවශ්‍යතාවයෙන් නිදහස් වීම පිළිබඳව කථා කරන බව මෝල්ටාවේ සම්භාවනීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. ඒවා එකම කාසියක දෙපැත්තකි. නමුත් මා සිතන්නේ සභාපතිතුමනි, අවංක භාවයකින් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ක්‍රියාත්මක වන්නේ එහි මූලාරම්භක පියවරුන් විසින් අපේක්ෂා කළ ආකාරයටදැයි කියා අපෙන්ම විමසිය යුතුයි. ඔබ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික ලියකියවිලි - එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, මානව හිමිකම් ප්‍රකාශය දෙස බැලුවහොත්, අපි සැබවින්ම හැසිරෙන්නේ මේ අති පූජනීය ලිපිලේඛණ මඟින් අපේක්ෂා කළ ආකාරයටද? යමෙකුට එම ප්‍රශ්නයට අවංකව, එකගව පිළිතුරු දිය හැකි යැයි කියා මම නොසිතමි.

අද දින කොවිඩ්-19 සහ ඒ සඳහා වූ ප්‍රතිචාර පිළිබඳව ද සඳහන් විය. බ්‍රෙටන් වුඩ්ස් ආයතන දෙස බලන්න. දෙවන ලෝක යුද්ධයේ අවසානයේ දී පැවති යම් දේශපාලන සන්දර්භයක් තුළ බ්‍රෙටන් වුඩ්ස් ආයතන හැඩගැසුණ නමුත්, එතැන් සිට ලෝකය විශාල වශයෙන් වෙනස් වී ඇත. නමුත් එම ආයතන බොහෝ දුරට පැවති ආකාරයෙන්ම පවතී. දැන් විශේෂයෙන් දියුණු වෙමින් පවතින ලෝකය තුළ, උදාහරණයක් වශයෙන් ලෝක බැංකුව අද අප මුහුණ දී ඇති ඉතාමත් අසීරු දුෂ්කර අවස්ථාවන්හි දී ණය සමාව ලබා දීමේ ප්‍රතිපත්තියක් සඳහා එකඟ වුවහොත්, සංවර්‍ධනය වෙමින් පවතින රටවලට තමන්ගේම සුළු සම්පත් ප්‍රමාණය ඔවුන්ගේ ජනගහනයේ සුභසාධනය සමඟ සම්බන්ධ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට හැකි වනු ඇත. දැන් මගේම රට වන ශ්‍රී ලංකාව ගතහොත්, අපි සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඩොලර් බිලියන 4.2 ක් උපයන අතර, දැන් එය සම්පුර්ණයෙන්ම පාහේ නැවතී ගොස් ඇත. එසේම අපේ වෙළෙඳ සබඳතාවලට බලපෑම් එල්ල වී ඇත. ඉතාලිය වැනි රටවල විදේශයන්හි සේවය කරන අපේ විදේශික ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයත්නයෙන් ශ‍්‍රී ලංකා භාණ්ඩාගාරයට පැමිණි මුදල් ද බලපෑමට ලක් වී ඇත. එබැවින් එම තත්ත්වය තුළ, ලෝක බැංකුව ණය සමාව ලබා දීමේ ප්‍රතිපත්තියක් සඳහා එකඟ වුවහොත්, එමඟින් අපේ රටවල ආර්ථික සංවර්‍ධනය බෙහෙවින් වේගවත් කිරීමට හා පහසුකම් සැලසීමට හැකිවනු ඇතැයි මම සිතමි.

ආරක්ෂක කවුන්සිලයේ සංයුතිය දෙස බලන්න. එය කුමන ආකාරයකින් හෝ නූතන ලෝකයේ යථාර්ථය පිළිබිඹු කරයිද? එසේ නොවේ. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී පමණක් යථාර්ථය ලෙස පැවති යම් බල තුලනයක් එමඟින් පිළිබිඹු වේ. නමුත් අද වෙනත් නැගී එන බලවේග තිබේ. මම රටවල් නම් නොකරන නමුත්, එය සමකාලීන යථාර්ථයන්ට අනුකූල කිරීම සඳහා සමස්ත සංවිධානයම මූලික වශයෙන් වෙනස් කළ යුතුය. ආර්ථික හා සමාජ කවුන්සිලය ශක්තිමත් කළ යුතුය. නැවතත්, සමානාත්මතාවය හා මානව ගරුත්වය පිළිබඳව අවධාරණය කළ යුතුය. මුළු ලෝකය විසින්ම, ලෝකයේ කොටසක් විසින් නොවේ. ධනවත්, බලවත්, ලොව පුරා ආධිපත්‍යය දරන එක් කොටසක් විසින් එක්සත් ජාතීන්ගේ ක්‍රමය ඔවුන්ගේ ආධිපත්‍යය සඳහා උපකරණයක් ලෙස භාවිතා කිරීම නොවිය යුතුය. එක්සත් ජාතීන්ගේ පද්ධතිය හා සම්බන්ධ අංග සහ ව්‍යුහයන් කෙරෙහි යම් විශ්වාසයක් නොමැතිකම ඇති කරන්නේ එමඟිනි. එබැවින් මේවා මේ මොහොතේ දී අප විසින් විසඳිය යුතු තීරණාත්මක, අත්‍යවශ්‍ය ගැටලු කිහිපයක් යයි මම සිතමි.

මේ කෙටි කරුණු කිහිපයක් පමණි. අනෙක් කරුණ වන්නේ, විදේශ ප්‍රතිපත්තිය එක් අතකින් දේශීය ප්‍රතිපත්තියේ දිගුවක් වන බැවින්, ඕනෑම ප්‍රබුද්ධ විදේශ ප්‍රතිපත්තියක් පරිණත ජාතිකත්ව සංකල්පය මත පදනම් විය යුතුය. ඉතින් ඔබ දන්නා පරිදි, විදේශ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී රට එක්සත්ව පැවතිය යුතුය. ඔබට එය කර්කශ, බෙදුනු ආකාරයකින් සිදුකළ නොහැක. දැන් අපේ බොහෝ රටවල, නිසැකයෙන්ම මගේම රටේ ද, ජනගහනයේ විවිධ කොටස් විවිධ භාෂා කථා කරන, විවිධ ආගම් අදහන්නන් වෙති. ඔවුන්ගේ සංස්කෘතික පසුබිම් හාත්පසින්ම එකිනෙකට වෙනස් ය. එය ගැටලුවකි. දැන්, ඔබ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද? සභාපතිතුමනි, මා සිතන පරිදි එහි ප්‍රධාන කරුණ වන්නේ අධ්‍යාපන ක්‍රමයයි. ඔබ දන්නා පරිදි, නිසැකවම අපේ ලෝකයේ, ඉන්දියානු අර්ධද්වීපය, ශ්‍රී ලංකාව, මැලේසියාව ඇතුළු ලෝකයේ එම කොටසේ, විවිධ ජනවාර්ගික ප්‍රජාවල බලපෑම් ඇති කළ හැකි යෞවනයන්ට, පාසල් හා විශ්ව විද්‍යාලවල දී එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් මැදිරි තුළ උගන්වනු ලබනවා. එහි යෞවනයන්ට එකිනෙකා පිළිබඳව දැන හඳුනා ගැනීම සඳහා අවස්ථාවක් නැති තරම්ය. ඒ, සතුරුකමක් තිබෙන නිසා නොවේ. සතුරුකමක් කිසිසේත්ම නැත. ඒ ඔවුන්ට එකිනෙකා හා කථා කිරීමට නොහැකි වීම නිසා පමණකි. මෙම භාෂාව පිළිබඳ ගැටලුව නිසා කිසිදු සන්නිවේදනයක් කළ නොහැකිය. එබැවින් ඔවුන්ගේ ශාස්ත්‍රීය ජීවිතය පමණක් නොව ඔවුන්ගේ සංස්කෘතික හා සමාජ ජීවිතය පවා මුළුමනින්ම ඒකකවලට වෙන් වී ඇත. එබැවින් සන්නිවේදනයේ දී භාෂාව, උදාහරණයක් ලෙස සම්බන්ධක භාෂාවක්, ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

මට පැවසීමට අවශ්‍ය අවසාන කරුණ වන්නේ, අප විසින් ජනවාර්ගික හෝ ආගමික දේශපාලන පක්ෂ දෙස බැලිය යුතු බවයි. ජනවාර්ගික වශයෙන් සහ ස්වරූපයෙන් ප්‍රකාශ කරන දේශපාලන පක්ෂ අපේ බොහෝ රටවල පවතින අතර, විදේශ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී එය ද තීරණාත්මක ගැටලුවකි. අපි මෙම ජනවාර්ගික කණ්ඩායම නියෝජනය කරන්නෙමු. අපි මෙම ආගම නියෝජනය කරන්නෙමු. එය හොඳ අදහසක් ලෙස මම නොසිතමි. එමගින් විශාල හානියක් සිදු කරයි. මගේම රටේ මුස්ලිම්, දෙමළ, සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් ජාතික දේශපාලන පක්ෂවල සාමාජිකයින් වශයෙන් දේශපාලන බලයේ සහ අධිකාරයේ උච්චතම ස්ථානයට පැමිණ ඇත. ජාතික දේශපාලන පක්ෂ වශයෙන්! ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඔවුන්ගේ නැගීම සඳහා එයින් බාධාවක් වී නැත. එබැවින්,  ඔවුන්ට නිකායික ලෙස පෙනෙන දේශපාලන කණ්ඩායම් ගොඩනැගීම හා මතුවීම තුළින් ජාතික දේශපාලනයෙන් ඈත් වීම, වෙන් වීම හෝ ජාතික දේශපාලනය කොටස්කරණය කිරීම සඳහා අවශ්‍යතාවක් නොමැත. ඔවුන්ට ඇත්තේ ඉතා පටු ඉදිරි දැක්මක් වන අතර, එය අපේ රටවල සහයෝගීතාවයට හා ඒකීයභාවයට බෙහෙවින් හානිකරය. ජී 20 අන්තර් ආගමික සංසදයේ දී ඔබ මේ කරුණු පිළිබඳව කල්පනා කරනු ඇත. එබැවින් මේවා කිසිදු ආකාරයකින් නිගමනයන් නොවන අතර, ඔබේ විශිෂ්ට සභාපතිත්වය යටතේ පැවැත්වෙන ඉතා උත්තේජනීය සාකච්ඡාවක් සඳහා වූ පදනමක් ලෙස ඔබ සමඟ තබා යාමට කැමති සිතුවිලි කිහිපයක් පමණකි.

බොහොම ස්තූතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close