යුවාන් වැන්ග් 5 චීන නෞකාව

යුවාන් වැන්ග් 5 චීන නෞකාව

යුවාන් වැන්ග් 5 චීන නෞකාව පිළිබඳව අදහස් දැක්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

2022 ජූනි 28 වැනි දින, චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නැවත පිරවීමේ කටයුතු සඳහා 2022 අගෝස්තු 11-17 දිනවල දී හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික සටහනක් මගින් මෙම අමාත්‍යාංශය වෙත දන්වා සිටියේය. මෙම වරායට පැමිණීම අතරතුර දී කාර්ය මණ්ඩලයේ වටමාරු කිරීමක් සිදු නොවන අතර, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම පිළිබඳව ධනාත්මක අන්දමින් සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ලදී.

‘රාජ්‍යතාන්ත්‍රික නිෂ්කාශනය’ සඳහා වන එවැනි ඉල්ලීම් පිළිබඳ අදාළ පිළිගත් පරිචයට අනුව, අමාත්‍යාංශය විසින් එම ඉල්ලීම රජයේ අදාළ පාර්ශ්වකරුවන් වන - ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අතර බෙදා හරින ලදී

නියමිත කාල සීමාව තුළ දී නැවත පිරවීමේ කටයුතු සඳහා නෞකාවේ සංචාරය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ආරක්‍ෂක නිෂ්කාශනය 2022 ජූලි 7 වැනි දින ලැබීමෙන් පසුව සහ මැදිහත්වීම් රහිත සහ අනාරක්ෂිත පදනමට යටත්ව සංඛ්‍යාත සහ සන්නිවේදන උපකරණ භාවිතය සඳහා ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් විරෝධතා නොමැති බවට ලිපියක් ලැබීමෙන් අනතුරුව, එම නෞකාව නැවත පිරවීමේ කටයුතු සඳහා හම්බන්තොට වරායට පැමිණීම සඳහා අමාත්‍යාංශය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය වෙත 2022 ජූලි 12 වැනි දින රාජ්‍යතාන්ත්‍රික අවසරය ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ දී ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකළ යුතු බවට ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් අවධාරණය කරන ලද කොන්දේසි ද ප්‍රකාශ කරන ලදී.

ඉන් අනතුරුව, අමාත්‍යාංශය සමඟ මතු වූ ඇතැම් ගැටළු සැලකිල්ලට ගනිමින්, මෙම කාරණය පිළිබඳ උපදේශන තවදුරටත් ක්‍රියාත්මක වන තෙක් මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් තබන ලෙස ශ්‍රී ලංකා රජය 2022 අගෝස්තු 05 දිනැති රාජ්‍යතාන්ත්‍රික සටහනක් මගින් මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

අදාළ සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව, මිත්‍රත්වයෙන්, අන්‍යෝන්‍ය විශ්වාසයකින් සහ නිර්මාණාත්මක සංවාදයක් තුළින් මෙම ගැටළුව විසඳා ගැනීමේ අරමුණින් යුතුව, රජය එතැන් සිට, රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සියලු පාර්ශ්ව සමඟ ඉහළ මට්ටමින් පුළුල් උපදේශනවල නිරත වී ඇත. මතු වූ ගැටළු හමුවේ, අමාත්‍යාංශය විසින් මෙම කාරණය සම්බන්ධයෙන් උපදේශන සඳහා සහාය විය හැකි වැඩිදුර තොරතුරු සහ කරුණු ද ඉල්ලා සිටින ලදී.

යුවාන් වැන්ග් 5 නෞකාව 2022 අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බවත්, 2022 අගෝස්තු 16-22 යන නව දිනවල දී නැවත පිරවීමේ අරමුණු සඳහා නිෂ්කාශනය සඳහා ඉල්ලුම් කරන බව 2022 අගෝස්තු 12 වැනි දින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික සටහනක් හරහා අමාත්‍යාංශයට දන්වා සිටියේය. සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, 2022 අගෝස්තු 16-22 දක්වා කල් දමන ලද නෞකාවේ පැමිණීම සඳහා 2022 අගෝස්තු 13 වැනි දින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය වෙත නිෂ්කාශනය දන්වා යවන ලදී.

සියලුම රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව යළි අවධාරණය කිරීමට මෙම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. අසල්වැසි ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ කරුණකි. සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සියලු රටවල නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ අභිප්‍රායයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය සහතික කිරීම සඳහා රට දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින්, දේශීය ක්‍රියාවලීන් ගණනාවක නිරත වෙමින් සිටින වත්මන් මොහොතේ දී, සියලු රටවල සහයෝගය, සහයෝගීතාව සහ අවබෝධය අමාත්‍යාංශය මහත් සේ අගය කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close