යුක්රේනයේ පවතින තත්ත්වයේ ප්‍රගතිය: ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම

යුක්රේනයේ පවතින තත්ත්වයේ ප්‍රගතිය: ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම

යුක්රේනයේ පවතින තත්ත්වයේ වත්මන් ප්‍රගතිය විදේශ අමාත්‍යාංශය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. ඒ අනුව, යුක්රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු (02) ඇතුළුව ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් හතළිස් (40) දෙනෙකු යුක්රේන-පෝලන්ත දේශසීමාව හරහා ඉවත් කරගැනීමේ කටයුතුවල විදේශ අමාත්‍යාංශය  මේ වන විට නිරතව සිටියි. මෙම ක්‍රියාවලිය සඳහා වෝර්සෝ සහ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් පහසුකම් සපයනු ලැබේ. අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුක්රේනයට සමගාමීව අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ඵලදායී ලෙස සිදු කිරීම තහවුරු කිරීම සඳහා වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත සම්පත් සැපයීම, මෙම අමාත්‍යාංශය විසින් ශක්තිමත් කරන ලදි. ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිතව ගමන් කිරීමටත්, මෙරටට නැවත පැමිණීමටත්හැකි වන ලෙස, අන්කාරා සහ වෝර්සෝ හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරු යුක්රේනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වති.

යුක්රේනය සමඟ භූමි දේශ සීමා භුක්ති විඳින රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව ද විදේශ අමාත්‍යාංශය නිරීක්ෂණය  කරමින් සිටියි. ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වා ඇති දූත මණ්ඩල එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සහ අදාළ නිර්වේතනික කොන්සල්වරුන් සමඟ කටයුතු කරයි.

බෙලරුසය සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙලරුසයේ විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන අටකට (08) අධික සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන සිසුන් 1,556ක් ඇතුළුව ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 1,600ක පිරිසක් සමඟ අඛණ්ඩව හා සමීපව කටයුතු කරයි. මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා අදාළ විශ්වවිද්‍යාල බලධාරීන්, ශිෂ්‍ය සහ දෙමාපිය කණ්ඩායම් මෙන්ම,බෙලරුසයේ අනෙකුත් අදාළ ආයතන සමඟ සෘජුවම සම්බන්ධ වී ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කරයි. පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් අවශ්‍යතාව අනුව දෙමාපියන් වෙත නිකුත් කෙරේ.

අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලෙස, විදේශ අමාත්‍යාංශය මෙම කලාපයේ සිටින  ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 පෙබරවාරි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close