මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හමුවෙයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හමුවෙයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා, සිය භාර්යාව වන අනිතා වෙතෝඩි මහත්මිය සමඟින්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන භගත් සිං කෝෂ්යාරි මැතිතුමා, මුම්බායි හි පිහිටි එතුමාගේ රාජ්‍භවන් නමැති නිල නිවසේ දී 2022 පෙබරවාරි 24වැනි දින හමුවිය.දෙරට අතර පවත්නා හවුල් සංස්කෘතික ඒකාබද්ධතාව පිළිබඳව අවධාරණය කළ කොන්සල් ජනරාල්වරයා, චින්මයා දූත මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “රාමායන ඉන් ලංකා” නමැති ග්‍රන්ථය ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීය. ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩුකාර භගත් සිං කෝෂ්යාරි මැතිතුමා, අතින් නිමවන ලද මහාරාෂ්ට්‍රයේ කුල්හාඩි කට්ටලයක් කොන්සල් ජනරාල් ආචාර්ය වෙතෝඩි මහතා වෙත පිළිගැන්වී ය.

ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා මෙන්ම ජාතීන් දෙක අතර පවතින දේශපාලනික ගැටලු, කොන්සල් ජනරාල්වරයා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා අතර පැවති හමුවේ ප්‍රධාන අංග විය. දෙරට අතර පවතින සබඳතාවල ගතිකත්වය සහ ස්වභාවය පිළිබඳව ආණ්ඩුකාරවරයා සතුව මනා අවබෝධයක් තිබිණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මාධ්‍ය විසින් නිර්මාණය කරන ලද ප්‍රචාරණ ක්‍රියාවලිය සහ සුළුතර ප්‍රජාවන් හා සබැඳි ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව දැනගැනීමට ද එතුමා තුළ දැඩි උනන්දුවක් තිබිණි. තවද, දෙරට අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, ජාතීන් දෙක අතර පවතින බැඳීම් වැඩිදියුණු කිරීමට එම අංශ යොදා ගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2022 පෙබරවාරි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close