මෝසම් දේශගුණය සහ සමුද්‍රීය පාරිසරික සම්පත් පිළිබඳ 6 වැනි චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩමුළුව

මෝසම් දේශගුණය සහ සමුද්‍රීය පාරිසරික සම්පත් පිළිබඳ 6 වැනි චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩමුළුව

 ගුවැන්ෂු හි චීන-ශ්‍රී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය 2021 මාර්තු මස 09 වැනිදා අන්තර්ජාලය මගින් පැවති, මෝසම් දේශගුණය සහ සමුද්‍රීය පාරිසරික සම්පත් පිළිබඳ, 6 වැනි චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩමුළුවේදී දේශනයක් පැවැත් වූවාය.

දේශන, ඉදිරිපත් කිරීම් හා ප්‍රශ්නෝත්තර සැසිවලින් සමන්විතව පැවති මෙම වැඩමුළුව සඳහා, ශ්‍රී ලංකාවෙ  රුහුණු විශ්ව විද්‍යාලයට අනුබද්ධ විද්වතුන්, ජාතික ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ දකුණු චීන මුහුදු සාගර විද්‍යා ආයතනයෙහි විද්වතුන්ගේ සහ බටහිර ඕස්ට්‍රේලියා හා මලයා විශ්ව විද්‍යාලයන්හි සහභාගිත්වය  හිමි විය. ඉදිරිපත් කිරීම් ශ්‍රී ලංකාවට අදාළ පාරිසරික හා සාගර පර්යේෂණ වලින් සමන්විත විය.

කොන්සල් ජෙනරාල්වරිය සිය දේශනයේදී, එවැනි වැඩමුළු නිතිපතා පැවැත්වීම ගෝලීය වශයෙන් වැදගත් ක්ෂේත්‍රයන්හි පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට සහ පරිසරයෙහි සිදුවන වෙනස්කම් පිළිබඳව දැනුම යාවත්කාලීන කිරීමට ඉවහල් වන බව දන්වා සිටියාය.තවද අප අවට පරිසරය තුළ සිදුවිය හැකි අනපේක්ෂිත පාරිසරික දූෂණයට විසඳුම් සෙවීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද කොන්සල් ජනරාල්වරිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේදී එම්.ටී. ඩයමන්ඩ් නෞකාවෙන් ඉන්ධන කාන්දු වීමේ සිද්ධියද එහිදී ඇය විසින් සිහිපත් කෙරුණු අතර, එය නවතාලිය හැකි වූ සිද්ධියක් වූ නමුත්, අනාගතයේදී සිදු විය හැකි එවැනි සිද්ධි පිළිබඳව අවධානය යොමු කරවන්නක් ලෙස සැලකිය හැකි බවද සඳහන් කළාය.

මෙම සමුළුව ඇමතූ විද්වතුන් අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන, දකුණු චීන මුහුදු සාගර විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ලිජුවාන් ලෝන්ග් සහ චීන-ශ්‍රී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ඒකාබද්ධ මධ්‍යස්ථානයෙහි සම අධ්‍යක්ෂවරුන් වන අධ්‍යක්ෂ මහාචාර්ය චැන්ග්ෂෙන්ග් ෂැන්ග් සහ අලුතින් පත් කළ අධ්‍යක්ෂ මහාචාර්ය තිලක් පී. ඩී ගමගේ යන මහත්වරු වෙති.

ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය
ගුවැන්ෂු

2021 මාර්තු 14

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close