මුම්බායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය බ්‍රහ්මකුමාරිස් සහෝදරත්වය සමඟ  රක්ෂා බන්ධන් උත්සවය සමරයි

මුම්බායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය බ්‍රහ්මකුමාරිස් සහෝදරත්වය සමඟ  රක්ෂා බන්ධන් උත්සවය සමරයි

මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 අගෝස්තු මස 08 වැනි දින දූත මණ්ඩල සංස්කෘතික හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ‘බ්‍රහ්ම කුමාරිස්’ සංවිධානයේ සහෝදරියන් සමඟ හින්දු උත්සවයක් වන රක්ෂා බන්ධන් උත්සවය සමරන ලදි. එකී සහෝදරියන් පිරිස විසින් පූජා තැටි රැගෙන දූත මණ්ඩල කාර්යාලයට පැමිණ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකු හට පූජනීය රාඛී නූල් බඳිනු ලැබීය.

රක්ෂා බන්ධන් යනු මානව සබඳතා සමරනු ලබන වැදගත් හින්දු උත්සවයකි. රක්ෂා නොහොත්  රාඛී යන්නෙන් පූජනීය වූ නූල් පටක් පිළිබඳව අදහස් වන අතර බන්ධන් යනු බැඳීම යන්නයි. රාඛී බැඳීම එකිනෙකා ආරක්ෂා කරන බවට වූ පොරොන්දුව සංකේතවත් වෙයි. දූත මණ්ඩලය තුළ රාඛී උත්සවය සැමරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැරණි සංස්කෘතික සබඳතාව පමණක් නොව අසල්වැසි ජාතීන් දෙක අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීම ද සංකේතවත් කරයි.

‘බ්‍රහ්ම කුමාරිස්’ යනු පුද්ගල පරිවර්තනය සහ සමස්ත ලෝකයේ පෙරළියක් ඇති කිරීම වෙනුවෙන් ඇපකැප වූ රාජ්‍ය නොවන සංවිධානයකි. 1937 වර්ෂයේ ඉන්දියාවේ දී ආරම්භ කරන ලද මෙම සංවිධානය, සියලුම මහද්වීපවල රටවල් 140 කට වඩා වැඩි ගණනක ව්‍යාප්ත වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස බොහෝ අංශවල පුළුල් බලපෑමක් සිදු කර ඇත. යුනිසෙෆ් සංවිධානය සහ ආර්ථික හා සමාජ කවුන්සිලය සමඟ එක්ව උපදේශන සේවා සැපයීමේ හැකියාවක් මෙම සංවිධානය සතුය. එක්සත් ජාතීන්ගේ කීර්තිමත් සාම පණිවිඩකරු සම්මානය ඇතුළු සාම සම්මාන රාශියක් මෙම සංවිධානය විසින් ලබා ඇත. තවද එය රාජ් යෝග අභ්‍යාස සහ අධ්‍යාත්මික අධ්‍යාපනය කිසිදු භේදයකින් සහ පිරිවැයකින් තොරව ලබා දෙන සංවිධානයකි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2022 අගෝස්තු 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close